රජයේ සංවර්ධන ව්‍යාපෘති නිම වූ විට ශී‍්‍ර ලංකාව

රජයේ සංවර්ධන ව්‍යාපෘති නිම වූ විට ශී‍්‍ර ලංකාව
ආසියාවේ දියුණුම රටක් වෙනවා

ඇමැති රෝහිත අබේගුණවර්ධන නුගගොඩදී කියයි

රුපියල් ලක්ෂ පන්සියයක් වැයකර ආරම්භ කළ නුගගොඩ පානීය ජල ව්‍යාපෘතියේ පළමුවැනි අදියර මඟින් වස්කඩුවේ වාඩියමංකඩ සිට දෙල්දූවේ කෝපියවත්ත දක්වා ගම්වල සෑම මාර්ගයකටම ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට පිරිසුදු පානීය ජලය ලබාදෙන බව ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ජනතාවගේ අවශ්‍යතා සඳහා මෙවැනි ජල ව්‍යාපෘති ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුණේ මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයකු සිටින නිසා යැයිද ඇමැතිවරයා පැවැසීය.

පවුල් නවදහසකගේ පානීය ජල අවශ්‍යතා සපුරා දීම සඳහා කළුතර ශ්‍රී ජයවර්ධනපුර අධිවේගී මාර්ගයේ වස්කඩුව වාඩියමංකඩ සිට ගෝනදූව දක්වා පානීය ජල සපයන නුගගොඩ ජල ව්‍යාපෘතියෙන් ජලය නිකුත් කිරීම ආරම්භ කරමින් ඇමැතිවරයා මෙසේ කීවේය.

මේ ජල ව්‍යාපෘතිය මඟින් නුගගොඩ දක්වා ජලය බෙදාහැරීමේ පළමුවැනි අදියර සඳහා රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක් වැය කැර තිබිණි.

පානීය ජල නොමැතිකමින් මේ මාර්ගය දෙපස ගම්වල ජනතාව දිගුකලක් පීඩා විඳි බවත් මේ පානීය ජල ව්‍යාපෘතිය මඟින් කළුතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධිවේගී මාර්ගයේ මොරොන්තුඩුව ගෝනදූව දක්වා පවුල් නව දහසකගේ පානීය ජල අවශ්‍යතාවලට පිළියම් ලැබෙන බවත්, රජයේ ආයතනද මේ ජල ව්‍යාපෘතියෙන් ජලය ලබාගන්නා බවත් ඇමැතිවරයා කීවේය.

වසර තිහක කාලයක් තිස්සේ පැවැති කොටි ත්‍රස්තවාදය නිමාවට පත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලද විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත්, මේ නිසා විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් මීට පෙර මේ රටේ සිටි කිසිම නායකයකු ඉටුකැර දී නැති බවත් පැවැසීය.

මහින්ද චින්තනය වැඩපිළිවෙළ යටතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති නිම වූ විට ශ්‍රී ලංකාව මුළු ආසියාකරයේ ම සංවර්ධිත දේශය වන බවද උතුරු නැගෙනහිර යුද්ධයේ නිමාව දුටු නිසා යුද්ධයට වැය කළ මුදල් සංවර්ධනය සඳහා යොදාගත හැකි බවද අමාත්‍යවරයා කීවේය.

ජනහමුව ඇමතීමට පෙර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා නුගගොඩ හන්දියේ නිවෙසක ජල කරාමය ක්‍රියාත්මක කරමින් ජලය නිකුත් කිරීම ආරම්භ කෙළේය.

මාධ්‍යවේදී සරත් පියසේන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත්ලාල් මෙන්ඩිස්, කළුතර නගර සභාවේ විපක්ෂ නායක පාලිත සිල්වා සහ කළුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වී. පී. ලක්ෂ්මන් මහත්වරුද එහිදී කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා