ආධාර මුදල් පමාවෙන් කළුතර කුඩා රබර් ඉඩම් හිමියෝ අසීරුවට

 ආධාර මුදල් පමාවෙන් කළුතර කුඩා රබර් ඉඩම් හිමියෝ අසීරුවට

රබර් නැවත වගා කිරීමේ යෝජනා ක්‍රමය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වගාවන් සඳහා කුඩා ඉඩම් හිමියන්ට වසරක් පාසා කොටස් වශයෙන් ලබා දෙන ආධාර මුදල කළුතර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගැනීමේ දී මාස එක හමාරකටත් වඩා වැඩි කාලයක් ගතවන බව කුඩා රබර් ඉඩම් හිමියෝ පවසති.

කුඩා ඉඩම් හිමියන්ට මෙවැනි දුෂ්කරතාවකට මුහුණ දීමට සිදු වී ඇත්තේ දෙපාර්තමේන්තුවෙන් ආධාර මුදල් ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොලැබෙන නිසා බවද ඔව්හු පෙන්වා දෙති. දෙපාර්තමේන්තුවෙන් සපයන පොහොර බෑගයක් සඳහා ද අධික මිලක් අය කරන අතර පොහොර ප්‍රවාහන ගාස්තු ගෙවීමට ද කුඩා ඉඩම් හිමියනට සිදු වී තිබේ.

කුඹුරු වගාවලට පොහොර ගොවීන්ට සහන මිලකට රජය ලබාදෙන නමුත් රබර් පොහොර සහන මිලකට තමන්ට ලබා නොදීම අසාධාරණයක් බවද කුඩා රබර් ඉඩම් හිමියෝ කියා සිටිති.

දහසක් දුෂ්කරතා මධ්‍යයේ තමන් වගා කටයුතු කරන නමුත් වසරකට වරක් ලැබෙන ආධාර මුදල දෙපාර්තමේන්තුව මඟින් පොහොර හා වෙනත් වියදම් සඳහා කපාගත් පසු කුඩා ඉඩම් හිමියන්ගෙන් වැඩි පිරිසකට ලබා ගැනීමට මුදලක් ඉතිරි නොවන බවද ඔව්හු කියා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා