කූඨ ලේඛන සකසා ලොරියක් ලියාපදිංචි කළැයි රිමාන්ඩ්

කූඨ ලේඛන සකසා ලොරියක් ලියාපදිංචි කළැයි රිමාන්ඩ්

කූඨ ලේඛන පිළියෙළ කර මෝටර් රථ වාහන බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේ ලියාපදිංචි කිරීමේ ජාවාරමක තොරතුරු අධිකරණයේදී අනාවරණය වූයෙන් කලාඔය සාලියපුර පදිංචි අයකු නඩු විභාගය අවසාන වනතුරු පාණදුර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු පවරා තිබුණේ පාණදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පියතිලක මහතා විසිනි.

ආදායම් බලපත්‍රයක් ලෙස කූඨ ලේඛනයක් සකස්කර ලොරියක් බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවීම සඳහා වාද්දුවේ පදිංචිකරුවකුගෙන් රුපියල් පහළොස් දහසක් වංචනික ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් මේ විත්තිකරු අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටියේය.

පාණදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පියතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ පැමිණිලිකරුගෙන් ලැබුණු පැමිණිල්ල ගැන පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේදී 38 ශ්‍රී 2345 දරන ලොරිය මෙසේ කූඨ ලේඛනයක් මත ලියාපදිංචි කර ඇති බව අනාවරණය වූ බවයි.

එම කාර්යාලයේ ලේඛනගතකර තිබූ ව්‍යාජ ආදායම් බලපත්‍රයද පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරිණි. මෝටර් රථ කොමසාරිස් නමින් මේ ව්‍යාජ ආදායම් බලපත්‍රය අංක 0173605 යටතේ 2007 දෙසැම්බර් 31 වැනි දිනය යොදා නිකුත් කැර තිබුණි.

මේ ජාවාරමට එම කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද හවුල් වී සිටිය හැකි බවත්, ඔවුන්ගේ අනුදැනුම නොමැතිව මෙවැනි කූට ලේඛන කාර්යාලයේ පොත්පත්වල ලියාපදිංචි කළ නොහැකි බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පැවැසීය.

පැමිණිලිකරුගෙන් මහේස්ත්‍රාත්වරයා විමසූ විට ඔහු කියාසිටියේ ලොරිය පහසුවෙන් ලියාපදිංචිකර ගැනීම සඳහා විත්තිකරුට රුපියල් 15,000ක මුදලක් තමා ලබාදුන් බවත් අනතුරුව ලොරිය ලියාපදිංචි කර ඇති බවත්ය.

රජයේ කාර්යාලයකින් රාජකාරි කටයුත්තක් කර ගැනීමට අල්ලස් දීම දඬුවම් ලැබිය යුතු වරදක් බව මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරුට පැවැසීය. චෝදනාවට නිවැරදි කරු යැයි විත්තිකරු පැවැසීය.

නඩු විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා