මැද ඔය විද්‍යාලයට ප්‍රමාණවත් පහසුකම් දෙන්න

මැද ඔය විද්‍යාලයට ප්‍රමාණවත් පහසුකම් දෙන්න

අපේ පාසල ආරම්භ කළේ 1955 වසරේදී. අපේ පාසලේ අඩුපාඩු එමටයි. අධ්‍යාපන වරප්‍රසාද භුක්තිවිඳීමේ අයිතිය අපේ දරුවන්ගෙන් උදුරාගෙන.

මෙසේ මැසිවිලි නගන්නේ මහියංගණ අධ්‍යාපන කලාපයේ බ/මැදඔය විදුහලේ දරුවන්ගේ මවුපියන් ය. පාසලේ පළමු වසරේ සිට සා. පෙළ. දක්වා පන්ති පැවැත්වේ.

ඉඩකඩ පහසුකම් නොමැති බැවින් අනාරක්‍ෂිත
ඉලුක් වහලක් යට ඉගෙනුම ලබන දරුවෝ

විෂයයන් අනුව සැලකුවිට දී අත්‍යවශ්‍ය ගුරුවරු නොමැත. පංතිකාමර ඉඩපහසුකම්ද කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

පාසලේ දරුවන්ගේ මවුපියෝ ආර්ථික අගහිඟකම් වලින් පෙලෙන්නෝ ය. පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 117 දක්වා පහළ බැස ඇත්තේ ද පාසලේ අඩුපාඩු නිසා ය.

පාසල සතු එකම ගුරු නිවාසයද දැඩිලෙසම අබලන්වී ඇතත් එහි එක් කොටසක ගුරුවරු පදිංචිවී සිටින අතර අනෙක් කොටස පංති කාමරයකි.

ආරම්භක සමයේදී මේ පාසල වෙත යෑමට ඒමට හරිහැටි මාර්ග පහසුකම් තිබී නොමැත.

මේ වන විට ලොක්ගල්ඔය මහවැලි ජලාශය හා දඹගොල්ල, පගරගම්මන හරහා මහියංගණ පූජානගරය යාකෙරෙන පාරක් සකස් කර ඇති බැවින් මාර්ග පහසුකම් ලැබී ඇත.

මාර්ගය දිගේ විදුලිය සැපයුම ඇතත් පාසලට විදුලිය ලබාදී නොමැත.

පාසල සතු එකම ගුරු නිවාසය අබලන්වී ඇති අයුරු.

පින්ලන්ත ආධාර යටතේ ලැබුණු සූර්ය පනලයක් භාවිතයෙන් භූගත ජලය ලබාගත් ජල මෝටරයද අක්‍රියවී බොහෝ කල්ය. එම මෝටරය අලුත්වැඩියා කිරීමද පහසු කටයුත්තක් නොවේ.

මේ හේතුව නිසා පාසලේ දරුවන්ට පානය කිරීමටවත් ජලය නොමැත. ගුරු නිවාසයේ පදිංචි ගුරුවරුන්ද ජලය, විදුලිය, ඉඩපහසුකම් නොමැතිකම මෙන්ම අනාරක්ෂිතව යන සියල්ලෙන්ම පීඩා විඳිති.

පාසලේ අඩුපාඩු පිළිබඳව අදහස් පළකළ සංවර්ධන සමිතියේ සාමාජික මහතෙක් මෙසේ කීවේය.

මේ පාසලේ දරුවන්ට ආරම්භයේ සිටම ගුරු හිඟය තදින් බලපෑවා. අදටත් එහෙමමයි. විද්‍යාව , ගණිතය, ඉංගී‍්‍රසි සෞන්දර්ය වැනි විෂයයන්වලට කලින්කලට ගුරුහිඟය ඇතිවුණා.

සමහර අවුරුදුවලදී ඇතැම් විෂයයන් ඉගැන්නුවේම නැහැ. ඒ අඩුව ළමයින්ට දිගටම බලපානවා. සාමාන්‍ය පෙළින් ඉහළ ප්‍රතිඵල කවදාවත් ලැබිලා නැහැ.

විද්‍යාව ගණිතය උසස් අධ්‍යාපනයට අපේ දරුවන්ට යොමුවීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ.

මෝටරය ක්‍රියා විරහිත වීම නිසා
ප්‍රයෝජනයට ගත නොහැකි ජල ටැංකිය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා