කෙසෙල් හේනාවේ අත් රබන් ශිල්පියා ගැන නිසි අගැයීමක් නෑ

කෙසෙල් හේනාවේ අත් රබන් ශිල්පියා ගැන නිසි අගැයීමක් නෑ

හතළිහකට පමණ අත් රබන් ශිල්පය උගන්වා ඇති කෙසෙල්හේනාවේ ආරියපාල විජේමාන්න වයෝවෘද කලාකරුවා මේ දක්වා ඇගැයීමකට ලක් කර නැතැයි රයිගම්පුරවරයේ කලා ශිල්පීහු පවසති. ආරියපාල විජේමාන්න මහතා ජීවත්වනුයේ ගොවිතැන ජීවිකා වෘත්තිය කර ගනිමිනි.

කෙසෙල්හේනාව විජේමාන්න කලායතනයේ අත් රබන් රංගනය හදාරන සිසු දරුවන්ට ආරියපාල විජේමාන්න මහතා (පිටු පසම පේළියේ) උපදෙස් දෙන අයුරු
ඡායාරූපය – බුලත්සිංහල සමූහ

කෙසෙල්හේනාව අත් රබන් කලායතනයේ නිර්මාතෘ ආරියපාල විජේමාන්න මහතා 1990 පටන් සංස්කෘතික අමාත්‍යාංශයට කලා භූෂණ සම්මානයට අවශ්‍ය තොරතුරු ද ඉදිරිපත් කර ඇත.  මෙතෙක් එම ඉල්ලීම ද ඉටු වී නැති වග ඒ වියපත් කලාකරුවා අප සමග පැවැසීය.

මම ජීවත්වන්නේ ගොඩ මඩ ගොවිතැනින්. මම ගෝලයන්ට මේ ශිල්පය උගන්වන්නේ නොමිලේ. මගෙ පුතාලටත් මම අත් රබන් ශිල්පය ඉගැන්වුවා. දැනුත් ගෝලයො දහසක් විතර ඉගන ගන්නවා.

මම කාගෙන්වත් සල්ලි ගන්නෙ නෑ. අවශ්‍ය ශිල්පය ඉතා ඉහළින්ම ලබා දෙනවා. 2010 ඇසළ මස පැවැත්වූ ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරටත් මමයි අපේ කලායතනයේ දරුවොයි ඉදිරිපත් වුණා.

සබරගමුව සමන් දේවාලය, කතරගම දේවාලය, නවගමුව දේවාලය මගින් පවත්වන වාර්ෂික ඇසල පෙරහරට අපි අපේ ශිල්පය සහිත නැටුම් ඉදිරිපත් කළා.

පාරම්පරික අත් රබන් ශිල්පීන් වශයෙන් ඉතා අපහසුවෙන් පවත්වා ගෙන යන මේ ශිල්පය දිගටම පවත්වා ගෙන යෑමට රජයෙන් අනුග්‍රහයක් අනුබලයක් ලබාදීම අද අත්‍යවශ්‍යයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා