ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩාංගණ තුනට ජාත්‍යන්තර පැසසුම්

ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩාංගණ තුනට ජාත්‍යන්තර පැසසුම්

සියලු ගෞරව ජනාධිපතිතුමාට හිමිවිය යුතුයි - ඩී.එස්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිකළ ක්‍රීඩාංගණය පිළිබඳ හා ඒවායේ පහසුකම් ගැන විදෙස් මාධ්‍යවේදීහු ප්‍රශංසාව පළ කරති.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන ඉන්දියාව හා බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා ඉහළ බව ඔවුහු ප්‍රකාශ කරති.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, පල්ලේ කැලේ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාගණය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම ඉදි කෙරුණි.

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට ලක්වු අයුරු. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා හා ක්‍රීකට් නිලධාරිහුද සිටිති.

මේ ක්‍රීඩාංගණ ඉදිවෙමින් පවතිද්දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්විය නොහැකි බවට විවිධ මත පළවෙමින් තිබුණි. එහෙත් අවසානයේ ආසියාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක් බවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ පත්ව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන තරග අධ්‍යක්ෂ ඩිරාජ් මල්හෝත්‍රා මහතා පසුගියදා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා හමුවී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ හා පහසුකම් පිළිබඳව සිය සතුට පළ කළේය.

මල්හෝත්‍රා මහතා ක්‍රීඩා ඇමැතිවරයාට පැවැසුවේ ලෝක කුසලාන තරග පවත්වන ක්‍රීඩාංගණ අතුරින් දැකුම්කළු හා පහසුකම් වලින් අංග සම්පූර්ණව ශ්‍රී ලංකාවේ කටයුතු සංවිධානය කිරීම ජගත් ක්‍රිකට් කවුන්සිලයේම ඇගැයීමට ලක්ව ඇති බවය.

එයට අමතරව අයි.සී.සී. නියෝජිතයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට හා තරග සංවිධායක කමිටුවට ද විශේෂ ස්තුතියක් පුදකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී. එස් ද සිල්වා මහතා පැවැසීය. ලෝක කුසලාන තරගාවලිය සාර්ථක කරගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම ඉවහල් වූ බව ඒ මහතා පැවැසීය. “ක්‍රිකට් තරග හොදින් සංවිධානය ගැන අපට ජගත් නියෝජිතයන්ගෙන් විශේෂ ප්‍රසාදයක් ලැබෙනවා. විදෙස් මාධ්‍යවේදීන් ලැබෙන සත්කාර හා පහසුකම් පිළිබඳව සතුටට පත්ව සිටිනවා.

මේ සියලු ගෞරව හිමි විය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. ජනාධිපතිතුමා සෑම කරුණක් පිළිබඳවම සොයා බලා අපව දිරිමත් කළා. අඩුපාඩු පෙන්වා දුන්නා” යැයි සිල්වා මහතා පැවැසීය.

වසරක් වැනි කෙටි කාලයක් තුළ ලෝක කුසලාන ක්‍රිකට් තරගවලට ක්‍රීඩාංගණ තුනක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ තරගාවලි අධ්‍යක්ෂ සුරාජ්් දන්දෙනිය මහතාගේ කැපවීමද සිල්වා මහතාගේ විශේෂ ඇගැයීමට ලක්විය.

බංග්ලාදේශයේ පැවැති සමාරම්භක උළෙලට ගිය දහසකට අධික මාධ්‍යවේදීන්ට ක්‍රීඩාංගණය තුලට ඇතුළුවීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. සැතපුම් භාගයක් පමණ පයින් ඇවිදගිය මාධ්‍යවේදීහු බංග්ලාදේශ තරග සංවිධායකයන්ට දෝෂාරෝපණය කළහ. එහිදී අන්තර්ජාල පහසුකම් හා අනෙකුත් සන්නිවේදන පහසුකම් අවම මට්ටමක තිබීමෙන් මාධ්‍යවේදීහු විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්හ.

පසුගියදා ශ්‍රී ලංකා – නවසීලන්ත අතර තරගය පැවැති මුම්බායි වැන්කෙඩේ ක්‍රීඩාංගණයේද මාධ්‍යවේදීන්ට නොයෙක් අපහසුතා විඳීමට සිදුවිය.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ද මේ ක්‍රීඩාංගණයේ දීය. “අවසන් තරගයක් පවත්වන ක්‍රීඩාංගණයක මෙයට වඩා පහසුකම් තිබිය යුතුයි” මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. “ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ මෙයට වඩා ඉහළයි” බොහෝ දෙනාගේ අදහස විය. ඉතා කුඩා ලකුණු පුවරුවක ඇති ක්‍රීඩකයන්ගේ විස්තර දැක ගැනීම නොහැකිවූ ක්‍රීඩා ලෝලීහු කෝපවි සිටියහ.

වැන්කෙඩේ පිටියේ ලකුණු පුවරුව ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුවකින් හතරෙන් එකකි. මාධ්‍ය කුටියේ තබා තිබූ සාමාන්‍ය ප්ලාස්ටික් පුටුවල පැය ගණනක් රාජකාරි කටයුතුවල යෙදීම අපහසුතා ඇති කරවන්නක් විය. එය නිදහසේ පෑන හසුරුවන මාධ්‍යවේදීන්ට නොවිය යුත්තකි.

මාධ්‍ය කුටියේ ඉදිරියේ වීදුරුව මත පිනිබිදු රැඳීමෙන් රාත්‍රිය උදාවෙත්ම තරගය දැකබලා ගැනීමට නොහකි විය. එහි ඇති රූපවාහිනියෙන් තරගය නැරඹීමට මාධ්‍යවේදින්ට සිදුවිය. ක්‍රීඩක විවේකාගාර ද ශ්‍රී ලංකාවේ ඇති ඒවාට වඩා බොහෝ කුඩාය. එබැවින් ක්‍රීඩකයන් ගේ මතකයද ශ්‍රී ලංකාවේ අති විශාල ක්‍රීඩාගාරවල පහසුකම් දක්වා අවධිවන්නට ඇත. ශ්‍රී ලංකා නවසීලන්ත තරගය පැවැති වැන්කඩේ ක්‍රීඩාංගණයට මාධ්‍යවේදීහු පැමිණියේ පෞද්ගලිකව ප්‍රවාහණ පහසුකම් සලසා ගැනීමෙනි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදෙස් මාධ්‍යවේදීන්ට මෙන්ම දේශීය මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිට ක්‍රීඩාංගණයට සුඛෝපභෝගී බස් රථ පහසුකම් සෑම තරගයකදීම ලැබුණු අතර ඉන්දියාවේ - බංග්ලාදේශයේදී එවැනි පහසුකම් සීමිත වීම කනගාටුවකි.

ශ්‍රී ලංකාවේදි නිදහස් මනසකින් මාධ්‍ය කුටියට ගමන් ගන්නා මාධ්‍යවේදීන්ගෙන් සන්නිවේදන පහසුකම් පිළිබඳ කිසිදු චෝදනාවක් නැත.

මුදල් අයකිරීමක් ද සිදුවූයේ නැත. අන්තර් ජාල සන්නිවේදන පහසුකම්” හොඳම වේගයකින්” ලබාදීමේ ගෞරවය ටෙලිකොම් මොබිටෙල් ආයතනවලට හිමිවිය යුතුය.

ශ්‍රී ලංකාවේ අලුතින් ඉදිකළ ක්‍රීඩාංගණවලට අලුත්ම ප්‍රවේශ මාර්ග ඉදිකර ඇත. ක්‍රීඩාංගණවල සෑම අංශයකම යටිතල පහසුකම් සොයා බැලීමට වෙනම නිලධාරියෙකු පත්කොට ඇත. දැවැන්ත ලකුණු පුවරුවේ ලකුණු ලබා ගැනීමේ වේගය, ඩක්වර්ත් ලුවිස් ලකුණු තත්ත්වය ඕවරයෙන් ඕවරයට දැකිය හැක. එක් ලකුණු පුවරුවක් ක්‍රියාත්මක කිරීමට 20ක් පමණ සේවයේ යෙදී සිටිති. එවැනි දත්ත ඇතුලත් ලකුණු පුවරුවක් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනත් රටක දක්නට නොමැත.

ශ්‍රී ලංකාව මෙවැනි දැවැන්ත තරගාවලියක් උසස් ලෙස සංවිධානය කිරීම තුළින් ඕනෑම අභියෝගයක් භාර ගැනීමේ ඇති හැකියාව ඔප්පු කර තිබේ. එය 2018 හම්බන්තොට දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල භාරගැනීමට හොඳම විශ්වාසයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා