ලේක්හවුසියෙන් මිලියන 500ක් ඉල්ලූ කුමාර් රූපසිංහගේ නඩුව ඉවතට

ලේක්හවුසියෙන් මිලියන 500ක් ඉල්ලූ කුමාර් රූපසිංහගේ නඩුව ඉවතට

‘දිනමිණ’ පුවත්පතේ පළ වූ ලිපියකින් සිදු වූ කීර්තිහානියට රුපියල් මිලියන පන්සීයයක වන්දියක් ඉල්ලා සහ ජීවන පදනමේ සභාපති කුමාර් රූපසිංහ මහතා පැවැරූ නඩුව කොළඹ දිසා අධිකරණය ඊයේ (2) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කෙළේය.

කුමාර් රූපසිංහ මහතාගේ නඩුව මෙසේ නිෂ්ප්‍රභ කෙළේ දෙවන වතාවටය.

නඩුව පැවරූ පළමු අවස්ථාවේ දිසා අධිකරණය මගින් විභාග කරමින් සිටියදී රූපසිංහ මහතා අධිකරණයේ පෙනී නොසිටීම මත පළමුවර නිෂ්ප්‍රභ කළ අතර නිෂ්ප්‍රභ කිරීමේ නියෝගය අවලංගු කර නැවත විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම දෙවන වරට නිෂ්ප්‍රභ කෙළේය. කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජී.ඒ.ඩී. ගනේපොළ මහතා මේ නියෝගය නිකුත් කරමින් නඩුව නිෂ්ප්‍රභ කළ අතර පැමිණිලිකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට විත්තිකාර එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කළ ඉල්ලීම පිළි ගත්තේය.

2008 මැයි 23 දින ‘දිනමිණ’ පුවත්පතේ පළ වූ ලිපියකින් අපකීර්තියක් සිදු වූ බවත් ඊට වන්දි ලෙස දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතාගෙන් හා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් රුපියල් මිලියන පන්සීයක් අයකර දෙන ලෙස ඉල්ලා මේ නඩුව පවරා තිබිණි.

නඩුව විභාග වෙමින් පවතින අතරතුර පැමිණිලිකාර රූපසිංහ මහතා හෝ ඔහුගේ නීතිඥවරු අධිකරණයේ පෙනී නොසිටීම මත නඩුව 2010 ඔක්තෝබර් 27 දින දිසා අධිකරණය මගින් නිෂ්ප්‍රභ කෙරිණි.

එසේ නිෂ්ප්‍රභ කිරීමේ නියෝගය අවලංගු කර නැවත නඩුව විභාගයට ගන්නා ලෙස රූපසිංහ මහතා මාස තුනකට පසුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිලිකරු කර ඇති ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහ ප්‍රතිපාදනවලට පටහැනි බවත් ඉල්ලීම නියමිත කාලසීමාව ඉක්මවූ පසු කර ඇති බවත් නඩුව නිෂ්ප්‍රභ කර විත්තිකරුවන්ට පක්ෂව තීන්දුව නිකුත් කරන ලෙසත් ලේක්හවුස් සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පැමිණිලිකාර රූපසිංහ මහතා සිය ඉල්ලීම මාස තුනකට පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම හා එසේ ප්‍රමාදවීමට සාධාරණ හේතු අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පැවැසීය. විශේෂයෙන් එසේ ප්‍රමාද වී ඇත්තේ නඩුවේ පැමිණිලිකරු බව පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ලේ ඉල්ලීම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර විත්තියේ ඉල්ලීම පිළිගත්තේය.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සංජීවනී කස්තුරිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ ධම්මික අබේගුණවර්ධන හා මයුර ගුණවංශ මහතා පෙනී සිටියේය.

විත්තිකාර එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ සමඟ අසිත් සිරිවර්ධන හා සුදර්ශී කාරියවසම් නීතිඥවරු පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා