රටේ යහපතට ඉල්ලා අස්වුණා

අයෝමය හස්තයකින් රට පාලනය කිරීමේ අභිලාෂයක් නෑ

රටේ යහපතට ඉල්ලා අස්වුණා

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්

මාලදිවයිනේ ප්‍රථමවරට නිදහස් ඡන්දයෙන් තෝරා ගත් ජනාධිපති මොහමඩ් නෂීඩ් , ආරක්ෂක හමුදා සහාය ලත් විපක්ෂ නායකයන් මෙහෙය වූ කුමන්ත්‍රණයක් ලෙස ඔහුගේ පක්ෂය හඳුන්වන විරෝධතා ක්‍රියාවලියකින් පසු පෙරේදා තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පැය කීපයකට පසු වෙනත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන උප ජනාධිපති මොහමඩ් නහීඩ් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස දිවුරුම් දෙමින් නීතියේ ආධිපත්‍ය සුරකින බව තහවුරු කළේය.

රූපවාහිනියෙන් විකාශනය කෙරුණු පුවත්පත් සාකච්ඡාවක් ඔස්සේ ජාතිය ඇමතූ නෂීඩ් වත්මන් තත්ත්වය යටතේ රටේ යහපත උදෙසා ඉල්ලා අස්වීම සුදුසුම ක්‍රියාව බවත් අයෝමය හස්තයකින් රට පාලනය කිරීමේ අභිලාෂයක් තමා සතුව නැති බවත් ප්‍රකාශ කරමින් ධුරයෙන් ඉල්ලා අස්වන බව කියා සිටියේය. ජනාධිපතිවරයාගේ මේ ඉල්ලා අස්වීම සිදුවූයේ ඉකුත් සති තුනක පමණ කාලයක් තිස්සේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට පොලිස් සහාය ලැබෙමින් එම විරෝධතා කුළු ගැන්වීමෙන් පසුය . විරෝධතා කරුවන් පවසන්නේ නෂීඩ් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු අත්අඩංගුවට ගැන්වීම ව්‍යවස්තා වීරෝධී බවය.

නෂීඩ් ගේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රීය පක්ෂය ජනතාවට හා විදේශ තානාපති කාර්යාලවලට නිකුත් කළ නිවේදනයන් ගේ දැක්වෙන්නේ ඔහු ගේ ඉල්ලා අස්වීම සිතාමතා සිදුකරනලද්දක් නොවන අතර ඔහුගේ පාලනය පෙරළා දැමීමක් සිදුව ඇතිබවයි. ඒ සමඟම ව්‍යවස්ථානුකූලව පත් වූ රජයකට එරෙහිව සිදු කළ මේ කුමන්ත්‍රණය දැඩි ලෙස හෙලා දකින බවද ඔවුහු කියති. තවද ආරක්ෂක බළකායන්ගේ අත්අඩංගුව යටතේ ජනාධිපතිවරයා ඔහුගේ කාර්යාලයට රැගෙන ගොස් ඉල්ලා අස්වන බව බලයෙන්ම ප්‍රකාශ කරවන ලද බවද ඔවුන්ගේ නිවේදනවල දැක්වේ. මේ ප්‍රකාශයෙන් පසු ඔහු දිවා කාලය නිල නිවසේ ගත කළ අතර පසුව සන්නද්ධ ආරක්ෂකයන් ඔහුව පවුලේ නිවසකට ගෙන ගොස් ඇත. මේ බව ඔහුගේ සොයුරු නසිම් සට්ටාර් ප්‍රකාශ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා