පාසල් සිසුවකු පැදවූ යතුරු පැදියේ හැපුණු මහලු පා පැදිකරු පාරේ ඇදවැටී මියගිහින්

පාසල් සිසුවකු පැදවූ යතුරු පැදියේ හැපුණු මහලු පා පැදිකරු පාරේ ඇදවැටී මියගිහින්

* පාර හරහා දැමූ එකවරම පා පැදිය වේගයෙන් පැමිණ යතුරු පැදියේ හැපුණා

* මෝටර් බයිසිකලය පැදවූ මටත් මිතුරාටත් තුවාල සිදුවුණා

- පාසල් සිසුවා සාක්කි දෙයි

මාතර, වල්ගම හන්දියේදී පාසල් සිසුවකු පැදවූ යතුරුපැදියක් පා පැදියක ගැටීමෙන් 70 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත. මියගොස් ඇත්තේ “මිණිමුතු” මඩිහබටහිර, කඹුරුගමුව යන ලිපිනයේ පදිංචි ගල්හේනගේ පියසේන (70) යන අයයි. මාතර මූලික රෝහලේදී පැවති මරණ පරීක්‍ෂණයේදී යතුරුපැදිය පැදවූ මාතර රාහුල විද්‍යාලයේ සිසුවකු වන මීරාපාර ඉසදින් නගරයේ පදිංචි කේ. ජී. ඩී. කේ. චාමර ජයතිලක (20) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය.

මගේ පියාට අයත් ඉර්‍ථඋඛ – 5854 අංක දරන යතුරුපදිය අලුත්වැඩියා කරන්න මගේ මිතුරකු වන පුබුදු සමඟ වල්ගම හන්දියට ආවා. යතුරු පැදියට අවශ්‍ය අමතර කොටස් රැගෙන අලුත්වැඩියා කරන ස්ථානයට ප්‍රධාන මාර්ගයෙන් ගමන් කරමින් සිටියා. වල්ගම හන්දියට මීටර් 10ක් තිබියදී පාරේ වම් පැත්තේ ගමන් කරමින් සිටි පා පැදිකරුවකු එකවිටම පාර හරහා පාපැදිය දැම්මා. මට තිරිංග තද කරගැනීමට වෙලාවක් වූයේ නැහැ.

යතුරු පැදිය පැමිණි වේගයෙන්ම පා පැදිකරුගේ ඇඟේ හැපුනා. ඉන්පසු අපි දෙදෙනාත් බිමට වැටුනා, එතැන් පටන් සිදුවූ දේවල් මතක නැහැ. අපි දෙදෙනාටම තුවාල සිදුවී තිබීම නිසා රෝහල් ගතකර තිබුණා. මියගිය පුද්ගලයා හඳුනන්නේ නැහැ. මියගිය පුද්ගලයාගේ බිරිය ඉන්ද්‍රානි දිසානායක (61) සාක්කි දුන්නාය.

මාතර පොලිසියේ සැරයන් 33415 දිල්නාත් මහතා සාක්ෂි මෙහෙයවන ලදී. මාතර සහකර අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. අයි. පද්මතිලක මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත්වූ සාක්‍ෂිත් සලකා බැලූ මාතර නාගරික හදිසි මරණ පරීක්‍ෂක ටී. එම්. ලලිත් ද සිල්වා මහතා මෙම මරණය යතුරු පැදියේ හැපීමෙන් මොළයට, හිසට, සුසුම්නාවට ඇතිවූ තුවාලවලින් සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා