ශාන්තිකර්මයට කනත්තට ගිය කපුවාට මිනී වළ උඩම එළිවනතුරු නින්ද ගිහින්

ශාන්තිකර්මයට කනත්තට ගිය කපුවාට මිනී වළ උඩම එළිවනතුරු නින්ද ගිහින්

එක්තරා ප්‍රදේශයක අලුතින් පටන් ගත් දේවාලයක සිදුවූ සිද්ධියකි. ආධුනික කපු මහතා සුරේ ලෙසින් හඳුන්වමු.දිනක් මෙම ප්‍රදේශයේ අයකුගේ දුර පළාතක ඥාතියෙකුගේ ශාන්ති කිරීමට බාර ගත්තේය. නමුත් සුරේගෙ දැනුමේ හැටියට මෙය බරපතළ කාර්යයක් බව වැටහිණි. කෙසේ වෙතත් සුරේ මේ පිළිබඳව රෝගියා ගෙනා හිතවතාට ද පැවසීය. “මේ වැඩේ නම් ටිකක් බරපතළයි. කරන්න වෙන්නෙ මිනී කනත්තෙ. අනික මේකට අවශ්‍ය වන බඩු ටික තවම මම දන්නෙ නෑ.”

“කිසි දේකට බය වෙන්න එපා. මම දන්න කෙනෙක් ඉන්නවා එහා ගමේ. එයා නියම වැඩකාරයා. මම එයාවත් එක්කන් එන්නම්කො.” කතිකා කරගත් පරිදි එදිනම ගොස් හිතවතාත් සමඟ පසුදිනම ක්‍රියාත්මක වූයේය. ආධුනික කපුවාගේ නිවෙසට කැඳවාගෙන ආ ජ්‍යෙෂ්ඨ කපුවා සමඟ සියල්ලම කතිකා කර ගත්තේය. බඩු ලැයිස්තුව ලියා දුන්නේය. අවශ්‍ය බඩු සොයාගත් සැණින් තොවිලය ආරම්භ කළේය. කතිකා කරගත් පරිදි එඩිතර තරුණයන් පිරිසක්ද සමඟ සුසාන භූමියට ද ගියේය. සුසාන භූමියේ තිබූ අලුතින් වැළලූ මිනී වළක මඳක් පස් ඉවත් කර නිදා ගැනීමට සූදානම් කළේය.

“දැන් මෙහෙමයි මේ වැඩේ කරනකොට මේ කට්ටියට ඔය එක එක දේවල් වෙන්න පටන් ගනී. ඒවගෙන් ඔය කට්ටියම ආරක්ෂා කරන්න අපිට බෑ. ඒකට ඔය කට්ටියම මොනව හරි කරගන්න ඕන... කියා ආධුනික කපුවා තරුණ පිරිසට කීවේය. තරුණ පිරිස “හරි හරි අපි ඒවට බය නෑ. කරමු කරමු කියා එක හඬින් පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ කපුවා මත දැරූ දැඩි විශ්වාසය නිසාමය. මිනී වළ මත හාන්සි වූ ආධුනික කපුවා පන්සිල් ගෙන නිශ්ශබ්ද විය. මඳ වේලාවක් ගතවිය. ජ්‍යෙෂ්ඨ කපුවා ආධුනිකයා පිළිබඳ විපරම් කළේය. ඔහු තද නින්දේ පසුවන බව වැටහිණි. වේලාව මධ්‍යම රාත්‍රි දොළහයි තිහ පසුවී යාමටද ආසන්නය. ආධුනික කපුවාට තදින්ම නින්ද ගොසින්ය.

මෙයට සම්බන්ධ වී සිටින පිරිසට යකා නැග්ගේය. අපි හොඳ වැඩක් කරමු මේකා මෙහෙමම නිදාගත්තාවෙ. අපි යමු ගෙදර. ජ්‍යෙෂ්ඨ කපුවාට ද වෙන කළ යුතු දෙයක් නැතිවිය. දැන් පිරිසගේ කේන්තියේ හැටියට කව්රු කීවත් අහන්නෙ නෑ. මං මේ තීරණේ ගන්නවාමයි කියා හිතමින් ජ්‍යෙෂ්ඨ කපු මහතා, “අනේ මන්ද එන දෙයක් යැයි කියා ඉවත බලා ගත්තේය. සියල්ල නැගිට්ටෝය. වළ අසලින් දල්වන ලද පොල්තෙල් තැටි තෙලෙන් පුරවා හීන්සීරුවේ ඉවත්ව ගියෝය. සුසාන භූමිය අසලම රෝගියාගේ නිවස පිහිටියේය. පැයක් දෙකක් ගතවිය. දල්වන ලද පන්දමක් රැගෙන වේගයෙන් දිව එන ඡායාවක් දුටු පිරිස...

“අන්න අරයා ඇහැරිල දුවගෙන එනවා. අනේ පාල අයියේ කරදරයක් වුනොත් අනේ පිහිටක් වෙන්න කියා පිරිස මෙම කපු මහතාට වැඳ වැටුණි. සැවොම සිතූ පරිදි සුරේ දුවගෙන එන බව සක් සුදක් සේ පැහැදිලි විය. “හැබැයි කොල්ලනේ බිම වැටෙන්ඩ ඉස්සර වෙලා අල්ලගන උඩකින් තියපල්ලා කියමින් පාල කපුවා බිම අතගා වැලි අහුරක් ගෙන මුවඟට ලංකර මතුරන්ට පටන් ගත්තේය. සුරේ දුවගෙන ආවේය. පිරිස ඉදිරියට පැන සුරේව අල්ලාගෙන මිදුල මත දිගාකළේය. ඔහුට සිහිසන් නැත. පාල කපු මහතා වැලි මතුරා සීමාවක් කළේය. කහ දියර කෙතලය ගෙන බුදුගුණ සිහිකර සුරේගෙ වත හොඳින් පිරිමැද්දේය. ඔහුට සිහිවූයේ අලුයම පහයි තිහට පමණය. ලැජ්ජාවට පත් සුරේ කපු මහතා කිසිත් නොකියා තද නින්දට වැටුණේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා