‘බෝලිං පවර් ප්ලේ’ ප්‍රමාද කළේ ඔවුන් වේගයෙන් ලකුණු ලබා ගනිමින් සිටි නිසයි

‘බෝලිං පවර් ප්ලේ’ ප්‍රමාද කළේ ඔවුන් වේගයෙන් ලකුණු ලබා ගනිමින් සිටි නිසයි

ඉන්දියාවට එරෙහිව පෙරේදා හොබාට්හි පැවැති ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන’ තරගයේදී ‘බෝලිං පවර් ප්ලේ’ ගැනීම ප්‍රමාද කළේ තමාගේ දඟ පන්දු යවන්නා යොදා ගැනීමට තමාට වුවමනා වූ නිසා බවත් නමුත් ඉන්දියා පිතිකරුවන් ඕවරයකට ලකුණු 9 බැගින් රැස්කරමින් සිටි නිසා ඒ අවස්ථාවේ තමාට ‘බෝලිං පවර් ප්ලේ’ (හතරේ සීමාවේ පන්දු රකින්නන් දෙදෙනෙකු පමණක් සිටීම) ගැනීම කළ නොහැකි දෙයක්ව තිබූ බවත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසීය.

සාමාන්‍යයෙන් ‘බෝලිං පවර් ප්ලේ’ ලබා ගැනෙන 15 වැනි ඕවරය අවසානය වන විට ඉන්දියාව ලකුණු 118කට කඩුලු 2ක් දැවී සිටියේය.

අවසන් ඕවර පහේදී ඔවුනට ලබා ගත හැකිව තිබුණේ ලකුණු 21ක් පමණක් වූ බැවින් ඒ වන විට ඉන්දියාව තරගයේ එතරම්ම උසස් තත්ත්වයක නොසිටියේය. “මට වුවමනා වී තිබුණේ 20 වැනි හෝ 22 වැනි ඕවරයේ පවර් ප්ලේ එක ගන්නයි. මගේ අදහස වී තිබුණේ එයයි. එය ඕවර පහකින් පමා කිරීමටයි.

නමුත් ඔවුන් ඒ වන විටත් ඕවරයකට ලකුණු 8 – 9 බැගින් ලබා ගනිමින් සිටියා. ඒ නිසා මට එය තවත් ප්‍රමාද කරන්න සිදුවුණා. මම හිතුවේ කඩුල්ලක් ලබා ගැනීමට මට පුළුවන් වේවි කියලයි.

එහෙමත් නැත්නම් පන්දු රකින්නන් හතරේ සීමාවේ රඳවා තියෙද්දී ඔවුන් අවදානමක් ගෙන ක්‍රීඩා කිරීමෙන් මට වැඩියෙන් කඩුලු ලබා ගැනීමට හැකිවේවි කියලා මම හිතුවා” ජයවර්ධන කීවේය.

“තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක්, ලකුණුු ලබා ගැනීමේ වේගය අඩුවෙන තෙක් පවර් ප්ලේ ගැනීම ඕවර කිහිපයකට පමා කරන්නයි මට අවශ්‍ය වී තිබුණේ.

නමුත් ඒක අද හරි ගියේ නැහැ. ඔවුන් තරගය පුරාම ඉතාම හොඳින් පිතිහරඹයේ යෙදුනා. ඔවුන්ට වේග ශක්තිය තිබුණා. අවදානමක් ගත හැකි බව දැන සිටි ඔවුන් ඒ අවදානම ගත්තා. එයින් ඔවුන්ට ප්‍රතිඵල ලැබුණා.”

ජයවර්ධන විසින් ‘පවර් ප්ලේ’ නොගැනීමෙන් ඉන්දියාවට තරගයේ ඔවුන්ගේ අවසන් ඕවර 13න් ‘පවර් ප්ලේ’ ඕවර 10ක් ඉතිරි විණි. ඉන්දියාව මෙවැන්නක් කොහෙත්ම බලාපොරොත්තු වූයේ නැත.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ ‘පවර් ප්ලේ’ ඕවර ගෙන අවසන් වූ වහාම 20 වැනි තමන්ගේ ‘බැටිං පවර් ප්ලේ’ ලබා ගැනීම ඉන්දියාවේ සැලසුම වී තිබිණි.

නමුත් ශ්‍රී ලංකාව පස්සට පියවරක් තබනු දුටු ඔවූහු තරගයේ අවසන් අවස්ථාවලට ‘පවර් ප්ලේ’ ඕවර ඉතිරි කර ගෙන තමන්ට රිසිසේ අවදානමකින් තොර ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වූහ.

ලසිත් මාලිංග පාවිච්චි කිරීම සම්බන්ධයෙන්ද තර්ක ගොඩනැගී තිබිණි.

ඒ දිනය ඔහුට “හොඳ දවසක්” නොවූ බව කාටත් පැහැදිළිය. එහෙත් සිය පළමු ඕවර තුනේදී ලකුණු 28ක් ලබා දීමෙන් පසුව සිවුවැනි ඕවරයේදී සාර්ථකව යළි තරගයට අවතීර්ණ වූ මාලිංග, සචින් ටෙන්ඩුල්කාර් දවාලුවේය.

තමාගේ හොඳම පන්දු යවන්නා යළි කැඳවීමට පෙර පන්දුව පරණ වී තිබීම දැකීම තමාගේ වුවමනාව වී තිබූ බව ජයවර්ධන කියා සිටියේය.

“ ඕවර 40දී ඔහුගේ ඕවර 6ක් මා ඉතිරි කරගෙන සිටියා” ජයවර්ධන කීවේය.

“පන්දුව ටිකක් පරණ වෙනකොට තමයි ඔහු වඩාත් ප්‍රබල වන්නේ.”

“මට මේක කරන්න තිබුණා..මට අරක කරන්න තිබුණා..කියලා කියන්න හරි ලේසියි. නමුත් තරගය ක්‍රීඩා කෙරෙන්නේ එහෙමයි” මහේල ජයවර්ධන පවසා සිටියේය.

“කෙනෙක් (විරාට් කෝලි) ඒ විදියට ක්‍රීඩා කරද්දී එයාව නතර කරන්න උත්සාහ කිරීම අමාරුයි. ඔහු එල්ල කළ සෑම පහරක්ම ඉතාම ඉස්තරම් ඒවායි.”

මේ තරගාවලියේ දෙවතාවක්ම පරාජය කර ඇති ඔස්ට්‍රේලියාව සමග තරගයේදී (හෙට) ශ්‍රී ලංකාව යළි දස්කම් අතරට පිවිසෙන බව ශ්‍රී ලංකා නායකයා කියා සිටියේය.

“අවසන් තරග වටයේ ක්‍රීඩා කිරීමට තරම් කුසගින්නක් අපට තියෙනවා නම් අපි ඔස්ට්‍රේලියාව පැරදවිය යුතුයි. එය ඒ තරමට සරලයි.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා