රායප්පු ජෝසප් රදගුරුතුමා උත්සාහ කළේ ඊළම් රාජ්‍යයේ අගරදගුරු වීමටයි

රායප්පු ජෝසප් රදගුරුතුමා උත්සාහ කළේ ඊළම් රාජ්‍යයේ අගරදගුරු වීමටයි

- ඇමැති විමල් වීරවංශ

රායප්පු ජෝසප් රදගුරුතුමා උත්සාහ කළේ ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යයේ අගරදගුරු වීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. ප්‍රභාකරන් මියගිය නිසා එම බලාපොරොත්තුව බිඳවැටුණ බව ද පැවසූ ඇමැතිවරයා, එම වේදනාවෙන් රායප්පු ජෝසප් රදගුරුතුමා කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව එතරම් ප්‍රශ්නයක් නොවේ යැයි පවසන ඔබාමාගේ ගෝලයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බව ද ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. විශේෂ ක්‍රියා පටිපාටිය සහිත යාන්ත්‍රණයට අවසර ලැබුණහොත් රටවල් පහකින් නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් පැවැසූ ඇමැතිවරයා, තනි තනි පුද්ගලයන්ගේ කරුණු සම්බන්ධව ඔවුන්ට පරීක්‍ෂණ කළ හැකි බව ද පැවසීය.

මෙවිට අන්තර් ජාතික අධිකරණයේ නඩු පැවරීමේ හැකියාව ලැබෙන බව ද විමල් වීරවංශ ඇමැතිවරයා කීය. ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකත්වයෙන් ඉහළ සාමාජිකත්වය එක්සත් ජනපදයට විකිණී ඇත්දැයි සොයා බලන ලෙස ද ඇමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමෙරිකාව ප්‍රමුඛ අන්තර් ජාතික බලවේග ඉදිරියේ දණ නොගසා සටන් කරනු ඇති බවට ජාතික නිදහස් පෙරමුණ විශ්වාස කරන බව ද විමල් වීරවංශ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අමෙරිකානු සන්නම් නාම යටතේ තිබෙන භාණ්ඩ සේවා වර්ජනය කරමින් අමෙරිකාවට එරෙහිව විරෝධය දැක්වීමට ජනතාව කටයුතු කළ යුතු බව ද ඇමැතිවරයා පැවසීය. ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (13) ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කර තිබූ ජන රැළිය අමතමිනි.

දිනාගත් සාමය රැකගනිමු, අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු මැයෙන් මෙය පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා