මලල ක්‍රීඩා සභාපති ධුරයට රොහාන් ප්‍රදීප් තරග කරයි

මලල ක්‍රීඩා සභාපති ධුරයට රොහාන් ප්‍රදීප් තරග කරයි

හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක රොහාන් ප්‍රදීප් කුමාර මේ මස අගදී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග වදින බව “දිනමිණ” ට ප්‍රකාශ කළේය.

අදාළ තනතුර සඳහා වන නාමයෝජනාව පසුගියදා මලල ක්‍රීඩා සංගමයට බාර දුන් බවත්, හෙතෙම සඳහන් කළේය.

”දැන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වය අපේ මලල ක්‍රීඩාවේ අනාගතයට හොඳ දෙයක් නොවේ. කෙටියෙන්ම කියනවා නම් අද අපේ මලල ක්‍රීඩාව බිංදුවටම වැටිලා. 2006 වසරෙන් පසුව අපිට ජාත්‍යන්තර මට්ටමේ රන් පදක්කමක්වත් දිනාගන්න බැරිවෙලා. ඒ නිසා මම කල්පනා කළා අපේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නැවත පණ දීලා රටට ජාත්‍යන්තර කීර්තියක් ලැබෙන අන්දමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙනෙන්න ඕනේ කියලා” රොහාන් ප්‍රදීප් එසේ සඳහන් කළේය.

1996 වසරේ සිට අඛණ්ඩ වසර 15 ක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දස්කම් දැක්වූ රොහාන් ප්‍රදීප් ආසියානු රන් පදක්කම් 3 කට හිමිකම් කියයි. හෙතෙම සාක් ක්‍රීඩා උළෙලේ මීටර් 400, 200 තරග වාර්තාවලට හිමිකම් කියන අතර මීටර් 400 සහාය දිවීමේ තරග ඉසව්වේ වාර්තාවට ද දායක වීමට සමත් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ සුදුසුකම් ලැබීමට ද ඔහු සමත් විය.

”මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයට තරග කරන්න මට තියෙන හොඳම සුදුසුකම තමයි ඒක. රට වෙනුවෙන් මම ජාත්‍යන්තර පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. ඒ නිසා මෙරට මලල ක්‍රීඩාවට ආපසු ජීවය දෙන්න මට පුළුවන්” ඔහු කියයි.

”මලල ක්‍රීඩා සභාපති තනතුරට පත්වෙන්න ඕන ක්‍රීඩාව දන්න කෙනෙක්. එහෙම නොවන අය පත්වීමෙන් තමයි අද මලල ක්‍රීඩාව වැටිලා තියෙන්නේ.

වර්තමානයේ මලල ක්‍රීඩාව වැටිලා තියෙන තත්ත්වයට මලල ක්‍රීඩා පරිපාලනය වගකියන්න ඕනා. අපේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් ක්‍රීඩකයන් ඒකරාශී කරගෙන ක්‍රීඩාව නංවාලීම වෙනුවට පරිපාලනයට ඕන විදිහට වැඩ කරන්න ගිහිනුයි මේ තත්ත්වය ඇතිවුණේ.”

”අපි ඒ කාලේ ජාත්‍යන්තර තරග දිනන්න මොන තරම් සැලසුම් කළාද? ඒ රහස් තියෙන්නේ අපි ළඟයි. දුවලා නැති කෙනෙකුට ඒවා ගැන දැනුමක් නැහැ.

මලල ක්‍රීඩාවට ලැදි, ක්‍රීඩාවට සම්බන්ධ හැමෝගෙම සහාය මට ලැබෙනවා. මම දුවන කාලේ හිටපු පුහුණුකරුවන්, දිස්ත්‍රික් සංගම්වල සියලුදෙනාගෙම සහාය මටයි. මගේ පිල් බෙදීමක් නෑ. මම හැම කෙනා සමඟම සමීපයි” රොහාන් ප්‍රදීප් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට විදුලිබල අමාත්‍යාංශයේ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරන 37 හැවිරිදි රොහාන් ප්‍රදීප් කුමාර ක්‍රීඩකයකු ලෙස තමා ලැබූ අත්දැකීම් උපයෝගී කරමින් මලල ක්‍රීඩා පරිපාලනය තුළින් අනාගතයේදී මෙරටට ජාත්‍යන්තර කීර්තියක් ලබාදිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීමට බලාපොරොත්තු වන බව පැවැසීය.

”මේක මට අභියෝගයක් නොවේ. මම ක්‍රීඩා කරන කාලේ ඊට වඩා ලොකු අභියෝගවලට මුහුණ දීලා තියෙනවා.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා