කොදෙව්වෝ හය වසරකට පසුව ඔස්ට්‍රේලියාව පරදවති

කොදෙව්වෝ හය වසරකට පසුව ඔස්ට්‍රේලියාව පරදවති

බටහිර ඉන්දීය කොදෙව් පිල ඔස්ට්‍රේලයාව සමග පැවැති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගනිමින්, හය වසරකට ආසන්න කාලයකට පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේය.

වර්ෂාව නිසා පිලකට ඕවර 40 බැගින් සීමා වූ තරගයේදී ඔස්ට්‍රේලියාවට ලබා ගත හැකිවූයේ කඩුලු 9කට ලකුණු 154ක් පමණි. කොදෙව්වෝ ඔවුනට ඩක්වර්ත්/ලුවිස් න්‍යායට අනුව ලැබුනු ලකුණු 158ක ඉලක්කය තරගයේ තවත් පන්දු 10ක් ඉතිරිව තිබියදීය සපුරා ගත්තේය.

කොදෙව් පිල ජයග්‍රහණය කරා ගෙන යමින් ආක්‍රමණශීලී පිතිකරු කිරන් පොලාඩ් ලකුණු 47ක් රැස් කළේය.

දැවැන්ත හයේ පහර 4ක් එම ඉනිමට ඇතුළත්ව තිබූ අතර පිට දඟ පන්දු යවන සේවියර් ඩොහර්ටි ට එරෙහිව එල්ල වූ එක් හයේ පහරකින් නික්මුණු පන්දුව ක්‍රීඩාංගණය පසුකර ගොස් අසල්වැසි සාන්ත වින්සන්ට් ගුවන් තොටුපලේ ගුවන් යානා ධාවන පථයේ පතිත විණි.

තරගයේ ජයග්‍රාහී ලකුණු ලබා ගැනීමේ ගෞරවය හිමිවූයේ කාල්ටන් බෝ ට ය. එය ද හයේ පහරක් වූ අතර ඊට ගොදුරු වූයේද ඩොහර්ටි ය. ඒ සමගම කොදෙව්වෝ කඩුලු 5කට ලකුණු 163ක් රැස්කර ගෙන තරගය අවසන් කළහ.

ඩ්වේන් බ්‍රාවෝ ද තීරණාත්මක කාර්යයක් ඉටු කරමින් ලකුණු 30ක් ලබා ගනිමින් තරගයේ වාසිය සිය කණ්ඩායම පැත්තට හරවමින් පොලාඩ් සමග පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැගීය.

සංචාරක ඔස්ට්‍රේලියා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් ඩේවිඩ් හසී පන්දු 62කින් ලකුණු 37ක් ලබා ගත්තේය. හතරේ පහර 4ක් එම ඉනිමට ඇතුළත්ව තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා