අපට විරුද්ධව ඡන්දය භාවිතා කළ රටවල් සමඟ සබඳතාවන්හි වෙනසක් නැහැ

අපට විරුද්ධව ඡන්දය භාවිතා කළ රටවල් සමඟ සබඳතාවන්හි වෙනසක් නැහැ

- විදේශ කටයුතු අමාත්‍යාංශය

ජගත් මානව හිමිකම් කවුන්සලයේදී රටවල් කිහිපයක්? ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය භාවිතා කළද ඒ ඒ රටවල් සමඟ සිදුකෙරෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි කිසිඳු වෙනසක් සිදු නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

ලෝකයේ සෑම රටක් සමඟම සහයෝගීව ක්‍රියාකරන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කිසිඳු ආකාරයකින් වෙනස් නොවන බවද පවතින විදේශ සහ ආර්ථික සබඳතා ලිහිල් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් ලක් රජයට නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා “දිනමිණ”ට පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්මත කර ගත්තද ලෝකයේ කුඩා රටක් වන අපේ රටටද මිතුරු රටවල් විශාල ප්‍රමාණයක් සිටින බවට එහිදී සමස්ත ලෝකය හමුවේ පෙන්වීමට අවස්ථාව ලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව ගත් තීරණයට අභියෝග නොකරන බව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසයේ පටන් සබඳතා පවතින බවද කිසි විටෙකත් ඒවා බිඳ නොවැටෙන බවද ප්‍රකාශ කළේය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ අභ්‍යන්තර වශයෙන් ඉන්දියාවේ පවතින දේශපාලන තත්ත්වයන් හේතුවෙන් මේ පියවර ගන්නා බවට ප්‍රකාශයක් කර තිබෙන බවයි. මෙවැනි යෝජනා සම්මත කර ගත්තද ශ්‍රී ලංකාව ලෝකයේ සෑම රටක් සමඟම වෙනදාටත් වඩා හොඳ සහයෝගයකින් කටයුතු කිරීමට සූදානම් බවද ඒ මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා