මීගමුවේ හිරගෙදර සුපිරි සිරමැදිරි ගැන වහාම පරීක්‍ෂණ

මීගමුවේ හිරගෙදර සුපිරි සිරමැදිරි ගැන වහාම පරීක්‍ෂණ

මීගමුව බන්ධනාගාරයේ සුපිිරි සිරමැදිරි සහ වාට්ටු සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා පැවැසීය.

එසේම එවැනි වාට්ටුවක් පවත්වාගෙන යන බව අනාවරණය වුවහොත් වහාම කඩිනම් විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඒ මහතා පවසයි.

මෝර වාට්ටුව නමින් හැඳීන්වෙන මේ සිර මැදිරියට යොමු වන්නේ කුඩු ජාවාරම්, පාතාලය සමඟ සම්බන්ධතා ඇති අය සහ යාත්‍රා මගින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් විදේශ රටවලට රැකියා ලබාදීමට අයුතු ලෙස පුද්ගලයන් රැගෙන යන්නන් ඇතුළු විවිධ වැරදිවලට හසු වූ අය වේ. මේ සුපිරි සිරකරුවන් බැලීමට පැමිණෙන අමුත්තන් සඳහා ද විශේෂ පහසුකම් සලසන බව වාර්තා වෙයි.

මේ මගින් බන්ධනාගාරය තුළ ආදායම් මාර්ගද ඉහළ ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වන අතර මේ විශේෂ වාට්ටුව ඒ 1 නම් වේ.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍ර‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතාගෙන් ‘දිනමිණ’ මේ පිළිබඳව කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විධිමත් විනය පටිපාටියක් තුළින් පවත්වාගෙන යාමට ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ප්‍රකාශ කළ ඒ මහතා මාධ්‍ය මගින් මේ තොරතුරු ආවරණය කිරීම මගින් ඔවුන්ට ඒ පිළිබඳව සොයා බැලීම් පහසුවන බවද කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා