ඡායාරූප ගන්න ඉහළ ප්‍රදේශයට ගිය තරුණයකු බෝපත් ඇල්ලෙන් ඇද වැටී ජීවිතක්ෂයට

ඡායාරූප ගන්න ඉහළ ප්‍රදේශයට ගිය

තරුණයකු බෝපත් ඇල්ලෙන් ඇද වැටී ජීවිතක්ෂයට

බෝපත් ඇල්ලේ ඡායාරූප ගැනීමට ගිය 17 හැවිරිදි තරුණයකු අඩි හතළිහක් පමණ ගැඹුරු ආවාටයකට වැටී මිය ගොස් තිබේ. පරකඩුව නාමල්දෙණිය පදිංචි ඉසුරු සම්පත් නැමැති මේ තරුණයා තවත් යහළුවකු සමඟ 30 දා බෝපත් ඇල්්ලේ ඉහළ ප්‍රදේශය තරණය කර ඇත.

අනතුරුව ආවාටයකට වැටීමෙන් මියගොස් ඇත. මියගිය අයගේ සිරුර සොයාගැනීම ප්‍රදේශවාසීන්ගේ සහායෙන් සිදුව තිබේ.

පොලීසිය මේ සම්බන්ධ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ තරුණයාගේ මරණයත් සමඟ 1993 සිට මේ දක්වා බෝපත් ඇල්ලේ ලිස්සා වැටීමෙන් හෝ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් මියගිය සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ දිය ඇලි සංගමයේ සභාපති අසිත ඉන්දික වීරවර්ධන මහතා ප්‍රකාශ කළේ බෝපත් ඇල්ලේ ඉහළ ප්‍රදේශය තරණය කිරීම නුසුදුසු බවට දේශීය සංචාරකයන් කෙතරම් දැනුවත් කළත් ඔවුන් ඒවා නොපිළිපදින නිසා මේ අවාසනාවන්ත මරණ සිදුවන බවයි.

එසේම අධික ලෙස මත්පැන් පානය කරමින් දිය නෑමට යාම ද බරපතළ ප්‍රශ්නයක් වී ඇත.

මේ සම්බන්ධයෙන් කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති පේමරත්න මල්කැකුල මහතා ඇතුළු අදාළ නිලධාරීන් ආරක්‍ෂක අංශ සමග සාකච්ඡා කර බෝපත් ඇල්ලේ ඉහළ ප්‍රදේශය නැරඹීමට යාම හා මත්පැන් පානය කර දිය නෑමට යාම වළක්වා ගැනීමට ඉදිරියේදී සුදුසු පියවර ගැනීමට තීරණය කර තිබේ.

ගෙවුණු දස වසරක කාලය තුළ ලංකාවේ දිය ඇලි 65ක අනතුරුවලට මුහුණ දී 835 දෙනකු මිය ගොස් තිබේ.

ඉන් 300 දෙනකු රත්නපුරේ අනතුරුදායක දිය ඇලි ආශ්‍රිතව මිය ගොස් ඇති බව වාර්තා වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා