නැතිබැරි කමට රට රැකියාවකට ගිය මිනෝලි පෙට්ටියකින් ගෙදර එයි

නැතිබැරි කමට රට රැකියාවකට ගිය මිනෝලි පෙට්ටියකින් ගෙදර එයි

මරණය සැක යැයි ඥාතීහු කියති

මගේ දුව රට රැකියාවට ගියේ නැති බැරිකම හින්දයි. ඉඩමක් අරගෙන ගෙයක් හදාගන්න ලොකු උවමනාවක් තිබුණා. අනේ මගේ මේ අහිංසක දුවට ඇයි මේ වගේ අපරාධයක් කළේ, කියමින් අඬා වැටෙන්නේ සෞදියේ නිවසක සේවය කරමින් සිටිය දී එම නිවසේ හතරවැනි තට්ටුවෙන් වැටී මියගිය බව පවසන කොස්ගම ධර්මග්‍රාමයේ පදිංචිව සිටි යකාහේවාලාගේ මිනෝලි ධර්මසිරි නමැති 24 හැවිරිදි එක්දරු මවගේ මව වන ඇම්. විමලාවතී මහත්මියයි.

තවදුරටත් ඈ සොවින් යුතුව පවසා සිටියේ මේ අපරාධය කළ අයට දඬුවම් පැමිණවිය යුතු බවත්, මව නැතිවීමෙන් අසරණ ඇගේ කුඩා පුතාටත්, යම් සහනයක් ලබා දෙන්නැයි ඉල්ලමිනි. “මගේ දුව දැන් නැහැ. ඇයට හුඟක් වද දීලා තියෙනව කියල සිරුර දැක්කම කියන්න පුළුවන්. කුරා කූඹියෙකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා කියා මා ඉල්ලා සිටිනවා.

සෙනරත් විජේසිංහ (27) (මිනෝලිගේ ස්වාමියා) මෙසේ පැවැසීය. මිනෝලි පසුගිය 2011-3-7 දින පුංචි බොරැල්ලේ ඒජන්සියක් මාර්ගයෙන් සෞදි අරාබියාවේ රැකියාවකට ගියා. “ආරක පැලස්” නැමැති රජගෙදරයි ඇයට සේවය කිරීමට ලැබී තියෙන්නේ. මුලදී කතා කරල ඒ ගෙදර හොඳයි කිව්වත්, ඊට පසු කතා කළ විට කිව්වා රජගෙදර ගෑනු කෙනාගෙන් හරි කරදරයි කියල.

මම ඒ බව පුංචි බොරැල්ලේ ඒජන්සියට ගිහින් කිව්වා. ඇයව ආපසු ගෙන්නල දෙන්න කිව්වා. ඔවුන් සති දෙකෙන් ගෙන්නල දෙනව කීවත් සතියෙන් සතිය කල් දැම්මා. මෙසේ සති ගානක් ගෙවී ගියා. එක් දවසක් මට එහෙ සිටින ලංකාවෙ කෙනෙක් කතා කරල කිව්වා මිනෝලිට ගහල හතරවැනි තට්ටුවෙන් පහළට තල්ලු කරල කියල. මම ඒ බව විදේශ සේවා එකට කියන්න ගියා. ඒ අය කිව්වෙ මේ තැනැත්තිය පිළිබඳ කිසිම සඳහනක් ඒ අය ළඟ නැහැ කියලා. පැමිණිල්ලවත් භාරගත්තෙ නැහැ. තුන්පාරක් ගිහින් කිව්වට පස්සෙ තමයි පැමිණිල්ල භාරගත්තෙ.

පස්සෙ දැනගත්ත ඒ ඒජන්සිය ඇයව රක්‍ෂණය කරලවත් නැති බව. මාස තුනක සංචාරක වීසාවලටයි රට ඇරල තියෙන්නෙ කියලයි. ඊට පස්සේ ඊමේල් එකක් මගින් මිනෝලිගෙ පින්තූ®රය හඳුනා ගත්තා. පසුගිය මාර්තු 29 දින මෘත ශරීරය එයාපෝට් එකේ කාගෝ එකට එවා තිබුණා. එතැනදිත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වුවා. සුසුම්නාව කැඩිල කියල එතනදි දැනගත්තා අතක් තුන් හතරපොළකින් කැඩී තිබුණ අතර නියපොතු ළඟ තුවාල තිබුණා. මම වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන පරීක්‍ෂණයක් පවත්වා සාධාරණ වන්දියක්වත් ලබා දෙන ලෙසයි.

මෘත ශරීරය පිළිබඳව අවසාන කටයුතු සිදුකිරීමට 31 දින ගම්වාසීන් කොස්ගම නගරයට ගෙන ගොස් එය නගර මධ්‍යයේ තබා විරෝධතාවයක් ද පවත්වනු ලැබීය. මේ පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා