වාහනයකට පහරදී අලාභ කළැයි රංගල පොලිසියේ 5ක් අත්අඩංගුවට

වාහනයකට පහරදී අලාභ කළැයි රංගල පොලිසියේ 5ක් අත්අඩංගුවට

රංගල බෝබැබිල ප්‍රදේශයේ දී ජනපති ආරක්ෂක අංශයේ අයෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ගමන් ගත් වාහනයකට පහරදී අලාභහානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගල පොලිසියේ නිලධාරීන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පිරිස අතර සිටි පුද්ගලයෙකුට මේ පොලිස් නිලධාරීන් විසින් පහරදී තිබෙන බව පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණය වී ඇත. ඉකුත් 29දා රාත්‍රියේ මේ සිද්ධිය වී ඇති අතර සිද්ධියෙන් පසු අදාළ පොලිස් නිලධාරීන් පසුදින පහන්වන තුරු පොලිසියට වාර්තාකැර නොමැත. පසුදින එම නිලධාරීන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ වනවිටත් දෙදෙනෙකු බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී ඇත.

මේ පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රාත්‍රි මුර සංචාරයේ නිරතව ඇති බවත්, සිද්ධියෙන් පසු මොවුන් සැඟව සිට ඇත්තේ ඔවුන් බීමතින් සිටි බව අසුවේ යැයි සිතා වන්නට ඇති බවත් පොලිසිය පවසයි.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර අදාළ පොලිස් සැරයන්වරයා හා පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනා තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අද (2) තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා