මහලු අඹු සැමියන්ට දිවි එපා වේ

මහලු අඹු සැමියන්ට දිවි එපා වේ

එකම කුප්පියක වූ වස දෙකට බෙදා ගෙන පානය කිරීමෙන් පසු අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට පසුගිය 31 දා අලුයම ඇතුළු කර සිටි මහලු වියේ පසු වූ යුවළක් රෝහලේ දී මියගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

මියගොස් තිබුනේ මාදම්පේ ගල්මුරුව තිඹිරිගස්වෙල ඇහැලකන්දේ විසූ පොන්නයියා සෝමසුන්දරම් (72) හා වාසල මුදලිගේ කිරිමැණික් හාමි (68) නමැති අඹු සැමි යුවළයි. ඔවුන් තිදරු මාපියන් ය. ඔවුනගේ දරු දෙදෙනා මිය ගොස් සිටි අතර විදේශ රැකියාවකට ගොස් සිටි බාල දියණියට අයත් නිවසෙහි ඇගේ පුතු සමඟ ඔවුන් ජීවත්ව සිට ඇත. අගහිඟකම් හා හදිසියේ බිරිඳට හට ගත් ආබාධයක් නිසා හා ඇයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාව මත මේ සැමියා තුළ හටගත් කළකිරීම නිසා දෙදෙනාම කථා කර ගත් තීරණය මත එකම බෝතලයකින් වස පානය කර ඇති බවත් අලුයම වමනය කරන හඬ ඇසී බැලූවිට ඔවුන් වස පානය කර සිටි නිසා වහාම රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.

මිය ගිය දෙදෙනා සිය අවසන් දින කිහිපයේ දී දැඩි ලෙස අසරණව ජීවිතය පිළිබඳව කළකිරීමෙන් ගතකර ඇති බව හෙළි වූ බවත් කියන පොලිසිය මේ මරණ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරයි.

මේ අතර තලවිල සාන්ත ආනා සිද්ධස්ථානය අසල මුහුදු වෙරළේ ලඳු කැලෑවක් තුළ වස වර්ගයක් පානය කර සිය දිවි නසා ගත් බවට සැක කෙරෙන මැදිවියේ නාඳුනන යුවළකගේ සිරුරු ප්‍රදේශයේ මාදැල් ධීවර කාර්මිකයන්ට හමුවී ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඇල්ප්‍රඩ් හෙට්ටිආරච්චි මහතා වහාම සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්‍ෂණ සිදුකර කල්පිටිය හදිසි මරණ පරීක්‍ෂක සී. එම්. ඒ. කරීම් මහතා මූලික විමර්ශනයක් කර මෙම සිරුරු දෙක හඳුනා ගන්නා තෙක් හලාවත දිස්ත්‍රික් මහ රෝහල් මෘත ශරීරාගාරයෙහි තැන්පත් කරන ලෙසට නියෝග කළේ ය. ඒ අනුව මෙම සිරුරු පසුගිය 31 දා හලාවත රෝහලට යවා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා