“පුර නැඟුමෙන්” මේ වසරේ නගර 108ක් සංවර්ධනයට

“පුර නැඟුමෙන්” මේ වසරේ නගර 108ක් සංවර්ධනයට

රු. මිලියන 534 ක් වෙන් කෙරේ

කුඩා නගර නවීකරණය වෙනුවෙන් ක්‍රියාත්මක “පුර නැඟුම” සංවර්ධන වැඩසටහන යටතේ නගර 108 ක් මේ වසර අවසන් වන විට සංවර්ධනය කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

තෝරාගත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි පිහිටි කුඩා නගර නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මේ වෙනුවෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 534 ක් බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. බස්නාහිර, උතුරු මැද, ඌව, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ පළාත්හි කුඩා නගර මේ යටතේ සංවර්ධනය කෙරෙන අතර එහිදී නගරයකට පැවතිය යුතු සෑම පහසුකමක්ම සම්පූර්ණ කිරීමට ද පියවර ගෙන ඇත.

මීට පෙර “පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ණය ආධාර ලබා නොගත් පළාත් පාලන ආයතන අතුරින් ආයතන තුළ ඇති කුඩා නගර මේ මඟින් සංවර්ධනය කිරීමට කටයුතු කෙරෙන බවද එහිදී එක් පළාත් පාලන ආයතනයකට රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව මුදල් වෙන් කරන බවද මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කියා සිටී. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති ඒකකය මඟින් අදාළ පළාත් සභාවල සම්බන්ධීකරණය කිරීමෙන් සංවර්ධන කටයුතු සිදු කිරීමට සැළසුම් කොට ඇති අතර මෙම උප නගර සංවර්ධනය කිරීම තුළින් ග්‍රාමීය ජනතාවට නාගරික ආර්ථික පහසුකම් වඩාත් සමීපව ලබාදීම අරමුණු කරයි.

මේ නිසා ගම කේන්ද්‍ර කරගත් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මෙම උප නගර පද්ධතිය වැඩිදියුණු කිරීම අරමුණු කෙරේ. 2012 අයවැය මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මේ වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය කෙරෙන සෑම නගරයක් වෙනුවෙන්ම ජලසම්පාදන හා සනීපාරක්ෂක පහසුකම්, පිවිසුම් මාර්ග, මාතෘ සායන, සෞඛ්‍ය මධ්‍යස්ථාන, පුස්තකාල, ක්‍රීඩා පිටි නවීකරණය කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා