කරුණාගේ මුදල් යැයි ආච්චි රැවටී ‘කරුණා සහගත’ දීමනාව එපා කියලා

කරුණාගේ මුදල් යැයි ආච්චි රැවටී ‘කරුණා සහගත’ දීමනාව එපා කියලා

‘කරුණ’ නගා සමග තිබෙන තරහට ‘සොපි’ ආච්චිට කරුණා සහගත දීමනාවද එපා වීමේ සිද්ධියකි මේ.

පසුගියදා සුනාමි ව්‍යසන අවස්ථාවේ නිවාසවලට වූ අලාභවලට අර්ධ හා පූර්ණ වන්දි ලබා දෙනු ලැබීය. සොපි ආච්චිට සුනාමියෙන් අලාභයක් සිදු නොවුනත් ඇයද අනුන්ගේ ඉඩමේ අටවාගෙන තිබූ ලෑලි මඩුවකට වන්දි මුදල් ලබා ගැනීමට පූර්ණ වෙහෙසක් දරන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිතරම ගොස් ලියකියවිලි ඉදිරිපත් කරමින් ප්‍රාදේශීය දේශපාලනඥයන් හරහා නිලධාරීන්ට බලපෑම් කරමින් ඇයද සුනාමි වන්දි ලබා ගැනීමට කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ඇයගේ අහිංසකකම දුප්පත්කම සලකා බලා ඇයට කරුණා සහගත දීමනාවක් ගෙවීමට බලධාරීහු තීරණය කළහ.

එක් දිනක ඇය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොඩ වුණු අවස්ථාවේ අදාළ නිලධාරියා ඇය කාමරයට ගෙන්වා ආච්චි ඔබට වන්දියක් නම් ගෙවන්න බැහැ. කරුණා සහගත දීමනාවක් වශයෙන් රුපියල් පනස්දහසක් ගෙවන්නම් කියා පැවැසීය.

එවිට කෝපයට පත් ආච්චි මට ඔය කරුණාගේ සල්ලි තියා හුළඟත් එපා. ඔය ගෑණි තමයි මගේ ඉඩම් බලෙන් අල්ලාගෙන මම මේ තත්ත්වයට ඇද දැම්මේ. ඔය ගෑණිට මම සාප කරල පොල්ගහනවට දැන් මට ඔය ගෑනි මහත්තයලා ලවා අත යටින් මුදල් ටිකක් දෙන්න හදනවා.

මම මෙහාට එන විට ඔය කරුණා මෙහේ ඉඳලා පද්ද පද්ද යනවා මම දැක්කා. මට කරුණගේ සල්ලි නම් එපා රජයෙන් කීයක් හරි දෙනවා නම් ගන්නම් කියා පැවසුවේ අවට සිටි සියලු දෙනාම සිනහ සයුරේ ගිල්වමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා