දූ කෙළියයි-හඳහන් බැලීමයි පටලවාගත් ආරොන්ට ඇබැද්දියක්

දූ කෙළියයි-හඳහන් බැලීමයි පටලවාගත් ආරොන්ට ඇබැද්දියක්

ආරොන් එගම සිටි පාරම්පරික නැකත්කරුවා විය. හඳහන් බැලීම, අත්තිවාරම් කැපීමට ලණු ඇදීම, අකුරු කියවීම, විවාහ පොරොන්දම් ගැලපීම ඇතුළු සියලු නක්‍ෂත්‍ර කාර්යයන් නිසි ලෙස ඉටුකරවා ගැනීමට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගෙන් නිතරම මෙම නිවස පිරී පවතී.

පියා මෙන්ම ආරොන් ද මේ වැඩ අකුරටම කර දෙයි. ලියා දෙන පලාඵල විස්තර බොහෝ විට සත්‍ය ඒවාම විය. දිනෙන් දින ආරොන්ගේ හඳහන් බැලීම දසදෙස ප්‍රචලිත වී ගියේය. නමුත් මොහුගෙන් වැඩක් කරගැනීමට කල් ගතවෙන බැවින් කීප දිනක්ම ඔහු හමුවීමට යා යුතුයි.

පාසල් අවධිය හමාර කළ සැණින් ම ආරොන්ගේ පියා ආරොන්ට හඳහන් බැලීම පුරුදු කළේ්ය. මේ අතරම ඔහු පියාට හොරා බූූරු ගැසීමට ද ඇබ්බැහි විය. බූරු ගැසීමෙන් මුදල් පරාද වූ වාර ද එමට ය. දිනක් එගම සිටි වැදගත් පෙළපතකින් පැවත එන ජිනදාස මුදලාලිගේ දියණියගේ හඳහන් බැලීමට මොහුට බාර දුන්නේය. දින කීපයක් ගත වී ගියද මේ හඳහන් පලාඵල විස්තරය ලියවා ගැනීමට අපෙහොසත් විය. දින හතක් ගතවන දින ආරොන් හමුවීමට ගියත් හමු නොවූයෙන් ආරොන්ගේ බිරිය සමග නොසෑහෙන සේ දොස් පවරා ආපසු පැමිණියේය.

නිවෙසට පැමිණි සැණින් ආරොන්ට බිරිය සියලු විස්තර පැවසීමෙන් පසු හඳහන බැලීම ආරම්භ කළේය. බූරු ගසා මුදල් පැරදුණ ඔහුට මෙය මහත් හිසරදයක් විය. කෙසේ වෙතත් මුදලාලිගේ බැනීම මතක් වූ ආරොන් වහාම කඩිමුඩියේම හඳහන ලියා අවසන් කළේය. හඳහන ලියා අවසන් කළ ආරොන් සිය බිරියට මේ හඳහන දී නැවතත් ආපසු බූරු පොළට ගියේය.

ජිනදාස මුදලාලි පැමිණ මුදල් ගෙවා හඳහන් පලාඵල විස්තරය රැගෙන ගියේය.

පියා රැගෙන එන පලාඵල විස්තරය අතට ගත් දියණිය එය කියවන්නට වූවාය. මේ විස්තර කොළය කියවමින් සිටි දියණිය කලබල වී “අප්පච්චි ... අප්පච්චි ... මේ මොනවද මේ ලියල තියෙන්නෙ”යි කියමින් පියා දෙසට දිව ගියාය. ”මොකක්ද දුවේ ...” මේ ... මේ ... බලන්නකෝ මෙන්න මේ පහත් ඔට්ටුයි ... දහයත් ඔට්ටුයි ... මොනවද මේ ... මටනම් තේරෙන්නෙ නෑ.

මෙය කියවූ ජිනදාස මුදලාලිට යකා ඇවිස්සිනි. යතුරු පැදියට නැගි මුදලාලි ආරොන් හමුවීමට පියඹා ගියේය. ”මොනවද යකෝ ... මේ ලියල තියෙන්නෙ ... බලපන්”යි කියමින් ආරොන්ට හඳහන් කොළයෙන් දමා ගැසීය.

”හුටා ...”යි කියවුණ ආරොන්ට තරු පෙණුනි. අනේ මුදලාලි මට සමාවෙන්න ... කියමින් දෑත් එක්කර දණ නමා වැන්දේය.

අනේ මම එදා බූරු ගහල පැරදිලා ඇවිත් ඒ සිහියෙන්ම තමා මේ හඳහන ලියවුනේ. අනේ සමාවන්න මම දැන්ම ලියල දෙන්නම්. කියා නැවතත් සමාව අයදිමින් මේසය අසලට දිව ගොස් වහාම නැවතත් හඳහන් පලාඵල විස්තරය ලියන්නට විය.

පසුදින මේ පුවත ගම පුරාම ප්‍රචලිත වී ගියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා