බඩල්කුඹුර කටුගහගල්ගේ රජමහ වෙහෙර දහම් පාසල් සිසුන්ට ඩෙස්-පුටු හිඟයක්

බඩල්කුඹුර කටුගහගල්ගේ රජමහ වෙහෙර දහම් පාසල් සිසුන්ට ඩෙස්-පුටු හිඟයක්

බොහෝ කලක් කැලෑවට යටවී වල්බිහිවී තිබුණු මොනරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුගහගල්ගේ ඓතිහාසික රජමහ වෙහෙර නැවත එළිපෙහෙළි කර දේශීය හා විදේශීය බැතිමතුන්ට නැරඹීමට වැඳ පුදා ගැනීමට සුදුසු පරිදි පහසුකම් සලසා ඇත.

කටුගහගල්ගේ ගම්වාසීන්ගේ දායකත්වය ඇතිව මේ වෙහෙර නැවත ආරම්භ කර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ විහාරාධිපති මාපාකඩ පේමරතන හිමිපාණන් විසිනි.

උන්වහන්සේ මෙසේ කීහ. බුදු මැදුරත්, සංඝාවාසයත්, එකම ගිරිලෙනක් තුළ ඇති එකම විහාරස්ථානය කටුගහගල්ගේ විහාරයයි. මෙහි ගිරිලෙන අඩි තුන්සීයක් පමණ දිගයි. පළල අඩි පනහක් පමණ වෙනවා. බුදුමැදුර කරවා ඇත්තේ වලගම්බා රජතුමා (කිතු වසට පෙර 103 – 67) සොළීන් සමඟ යුද කිරීමට සේනාව සංවිධානය කිරීමට රුහුණු දනව්වේ වසර දහතුනක් සැඟවී සිටි අවධියේයි.

ඒ කාලේ කරන ලද සිත්තම් ගිරිලෙනේ පියස්සේ තවමත් දක්නට ලැබෙනවා.

දැනට ඒවා මැකී යමින් තිබෙන්නේ. සංරක්‍ෂණය කිරීමට පියවරක් ගෙන නෑ.

දාගැබ් දෙකක් අඩි 200ක් පමණ උස ගිරිකුල මත තිබෙනවා. එයින් එකක් පිළිසකර කළා. අනෙක් දාගැබ තවමත් ගරාවැටුණ තත්ත්වයේ තිබෙන්නේ. ථෙරපුත්තාභය තෙරුන් වහන්සේ භාවනා කළ ගිරිලෙන තිබෙන්නේ මේ විසල් ගිරිකුලේ මැද පොළවේ සිට අඩි තිහක පමණ උඩින්. එයට නැඟීමට යොදාගෙන ඇත්තේ අඩිය පමණක් තබාගැනීමට හැකි තරම් කුඩා පියගැට තුනක් පමණයි. උන්වහන්සේ මේ පියගැට තුන නැඟ එහි යෑමට තරම් සවිමත්ව සිටි බව දැනෙන විට අපට පුදුම හිතෙනවා.

අප මේ විහාරස්ථානයේ දහම් පාසලක් පටන්ගෙන තිබෙනවා. ඒ සඳහා පහසුකම් නෑ. ඩෙස් පුටු නෑ. පුස්තකාල, ජල පහසුකම් ඕනෑ. මේ අඩුපාඩු සපුරාදීමට අපට උදව් වන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා