සියලු සරසවි අද සිට වැඩ

සියලු සරසවි අද සිට වැඩ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය පැවැතියේ; රට ආපසු හරවන මහා බලවේගයක් ලෙස ය. මේ ගින්නට පිදුරු දමන්නට බොහෝ පිරිස් එක් වූහ. බොරදියේ මාළු බාන්නටත් බොහෝ පිරිස් එක් වූහ. අවසානයේ ආචාර්ය සම්මේලනයට ඉදිරියෙන් බෝඩ් ලෑලි අල්ලන්නට වූවෝ විපක්ෂයේ දේශපාලකයෝ ය. රනිල් වික්‍රමසිංහ මහතා පෙළපාළි යන්නට පටන් ගත්තේ ය. වායු සමීකරණ යන්ත්‍ර නැති කල හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතැ’යි මැසිවිලි කී සරත් ෆොන්සේකා ද පෙළපාළි ගියේ ය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ද මේ සටනට නොයෙක් ආකාරයෙන් ඔළුව දමන්නට පටන් ගත් හ. ඇත්ත ප්‍රශ්නයක් තිබූ බව සැබෑ ය. එහෙත් පසු කාලය වන විට ආචාර්ය සටන දේශපාලන සටනක් බවට පෙරැළී තිබිණි.

කිහිප වරක් ම සාකච්ඡා බිඳ වැටිණි. ඉනික්බිති අපට අසන්නට ලැබුණේ දෙපාර්ශ්වයේ වාග් සංග්‍රාමයයි. ජන මාධ්‍ය කරුවෝ එහි උණුසුම තවදුරටත් වර්ධනය කරමින් සජී වී නාට්‍ය – දර්ශන රඟ දක්වන්නට වූහ. දෙපාර්ශ්වයේ ම ගැටුමට අලුත් දර්ශන, අලුත් උපායමාර්ග පමණක් නො ව; අලුත් සටන් පාඨ ද එකතු විය. මහජනයා මේ දෙස බලා සිටියේ දැඩි කළකිරීමකින් හා දැඩි කෝපයකින් ය. ජනතාවගේ තර්කය වූයේ මේ සියලුදෙයින් දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වනබව ය. ඊට විසැඳුමක් තිබිය යුතුය.

රටේ සියලු ම විශ්වවිද්‍යාල අද සිට ක්‍රියාත්මක බවත්; අධ්‍යයන කටයුතු නිසි පරිදි ආරම්භ වන බවත්; සහතික ලෙස කිව හැකි ය. සමස්තයක් හැටියට ගත් කල ඒ වනා හී මුළු රට ම ලැබූ ජයග්‍රහණයෙකි. දහස් ගණනක ශිෂ්‍ය පිරිසක් අවසන් පරීක්ෂණ පවත්වාගත නො හැකි ව සරසවි තුළ ම වයසට යමින් සිටිය හ. තවත්දහස් ගණනක ශිෂ්‍ය පිරිසක් සරසවිවලට ඇතුළත් විය නො හැකි ව ගෙදරට නාකි වෙමින් උන් හ. මේ අතර අ.පො.ස.උ/පෙ ශිෂ්‍ය පිරිසක් අවිනිශ්චිත තත්ත්වයෙන් හා කළකිරීමෙන් යුතුව ඉබාගාතේ ජීවත් වූහ. මේ සියල්ලෙන්ම පෙනී ගියේ බලවත් අභාග්‍යයක පෙරනිමිති ය. අද වන විට ඉහත ගැටලු තුනට ම සාර්ථක විසැඳුමක් ලැබී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ නම්‍යශීලී ප්‍රතිපත්ති ගැනත්; ඔවුන්ගේ කැපවීම ගැනත් බලවත් ප්‍රසාදයක් ජනතාව තුළ පවතී. පළමුව මේ උගත් පිරිස හැඳින්වුණේ ෂයිලොක් න්‍යායට අනුව මස් රාත්තල ම ඉල්ලා සිටින දරදඬු කණ්ඩායමක ලෙස ය. ඒ පිළිබඳ විවේචන ඉතිහාසයට එකතු කොට ආචාර්යවරුන්ගේ ධනාත්මක පරිවර්තනය ගැන කතා කිරීම වැදගත් ය. ආචාර්ය සම්මේලනය ඉතා සුහද ලෙස සාකච්ඡාවලට එක් විය. හෘදයාංගම ලෙස සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි. අවසන් ලෙස දෙපාර්ශ්වය එකතු වී ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කළේ ය. මෙයින් ප්‍රකට වන්නේ සුබවාදී තත්ත්වයකි. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට මුළු මහත් ජාතියේ ම කෘතඥතාව පළවිය යුතු ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය විසැඳුමක් කරා ගෙනයෑමටත්, අසාර්ථක වූ සාකච්ඡා යළි සාධනීය මට්ටමින් ගොඩනැඟීමටත් මූලික වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය. ඊළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ය. මහානායක හිමිවරුන් ගේ ඇතුළු තවත් ප්‍රභූ® පිරිසකගේ උපදේශකත්වය හා අනුග්‍රහය ද මේ සඳහා ලැබී තිබිණි. මේ සියලු දෙනාගේ දුරදක්නා ඥානය, කැපවීම හා නම්‍යශීලී බව නිසා බලවත් ජාතිත ගැටලුවක් නිමාවට පත් ව තිබේ. සාකච්ඡා සාර්ථක කර ගැනීමට දායකත්වය දුන් හැම දෙනාට ජාතියේ කෘතඥතාව පළවිය යුතු ය.

කුමන වැඩ වර්ජනයක් වුව නිමාවට පත් වී ඇත්තේ ඉල්ලීම් සියයට - සියයක් දිනාගෙන නොවේ. කුමන වැඩ වර්ජනයක් වුව නිමාවට පත් වී ඇත්තේ ආණ්ඩුව හැම අතින්ම ජයග්‍රහණය කිරීමෙන් ද නොවේ. මෙබඳු ගැටුම් නිමාවට පත්වන්නේ දෙපාර්ශ්වය ම යම්-යම් අලාභ විඳගැනීමෙන් ය. යම්–යම් කැපකිරීම් සිදු කිරීමෙන් ය. ආචාර්ය වරුන්ගේ අර්බුදය නිමාවක් කරා ගමන් කර ඇත්තේ ද එම පිළිවෙළට ම ය. එහි වෙනසක් නැත. ආණ්ඩුව යම් – යම් කැපවීම් කළේ ය. ආචාර්ය සංගමය ද යම්–යම් කැපවීම් කළේ ය. ප්‍රතිඵළය ඉතා සාර්ථක ය.

ඕනෑම ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා නැතහොත් රාජ්‍ය නායකයා නම්‍යශීලී තැනැත්තෙකි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙයි. ජනාධිපතිවරයා ද වෘත්තීය සමිති නායකයෙකි. ඔහු වෘත්තීය සමිතිවලට ඇහුම්කන් දෙයි. 1980 – ජූලි වැඩවර්ජනය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට හොඳින් මතක ය. එවකට රාජ්‍ය නායකයා ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ඉතා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වර්ජකයන් සමඟ සාකච්ඡා පවා ප්‍රතික්ෂේප කළේ ය. අවසන් ප්‍රතිඵලය වූයේ සියලු ම වර්ජකයන් සේවයෙන් නෙරපීම ය. එබඳු නරුම ප්‍රතිපත්ති අද පාලකයන් ළඟ නැත. එබැවින් ඕනෑම වර්ජනයකට පෙර දෙවරක් සිතා බලන්නට වෘත්තීය සමිතිවලට සිදු වනු ඇත. එය ඔවුන්ගේ යුතුකම ද වනු ඇත.

අපගේ සිහියට නැගෙනුයේ නයිජීරියාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ මහතා ය. ඔහු ජනතාවාදී ලේඛකයෙකි. අචෙබේගේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සිය මාතෘභූ®මියට හා සහෝදර ජනතාවට අසීමිත ලෙස ආදරය කිරීම ය. මගේ ආදරණීය මාතෘභූමිය නරුම දේශපාලකයන් අතින් විනාශ මුඛයට යනවායැයි අචෙබෙ නොයෙක් වර දෝෂාරෝපණය කළේ ය.

නයිජීරියාව සම්පත් බහුල ඓතිහාසික රාජ්‍යයෙකි. එහෙත් එහි නායකයෝ ගෝත්‍රවාදය, ආගම්වාදය ප්‍රයෝජනයට ගනිමින් බලය සඳහා සටන් කරති. අචෙබෙ මේ ක්‍රියා කලාපයට බෙහෙවින් විරුද්ධ ය. ඔහු කියා සිටින්නේ නයිජීරියාවට ඇත්තේ නායකයන් පිළිබඳ ප්‍රශ්නයක් බව ය.

නයිජීරියාවේ බඳු ප්‍රාථමික දේශපාලන නායකයන් ශ්‍රී ලංකාවේ නැතැ’යි අපට තර්ක කළ හැකි ය. විශේෂයෙන් මෙරට නූතන රාජ්‍ය පාලකයා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි. ඔහු වර්ගවාදයට ඉඩ දෙන්නේ නැත. ආගම්වාදයට ඉඩ දෙන්නේ ද නැත. සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ගැටලුවක් විසඳාගත හැකි තැනක ඔහු සිටී. මේ ත්ත්වය රටේ උගතුන්ගේ සැලැකිල්ලට ලක් විය යුතුය. තව අතෙකින් විපක්ෂ දේශපාලකයන්ගේ ද සැලැකිල්ලට ලක් විය යුතුය. ආණ්ඩුවක් පෙරළා දැමීමට අවශ්‍ය නම්; ඊට සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපාදන රට තුළ තිබේ. ශ්‍රී ලංකාව නිසි කාලයටත් කලින් මැතිවරණ පවත්වන රටකි. ඒ අනුව ශිෂ්ට සම්පන්න දේශපාලනයක යෙදීමේ සියලු අවස්ථා මෙරට දේශපාලකයනට තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන් ය. මේ විසැඳීම දිීර්ඝකාලීන පවත්වා ගැනීම සඳහා දෙපාර්ශ්වයෙන් ම යම්–යම් වගකීම් ඉටුවිය යුතුව තිබේ. එලෙසම දේශපාලන ඇඟිලිගැසීම් වලින්ද මේ ක්ෂේත්‍රය මුදා ගත යුතු ය. අවසන් ලෙස අපගේ අපේක්ෂාව වන්නේ සරසවි දිගට ම විවෘත වේවා යන්න ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා