ගසට හානි නොවී රබර් කිරි කැපීමට නවතම පිහියක් හඳුන්වා දෙයි

ගසට හානි නොවී රබර් කිරි කැපීමට නවතම පිහියක් හඳුන්වා දෙයි

රබර් ගසට හානියක් නොවන පරිදි උපරිම කිරි ප්‍රමාණයක් ලබාගත හැකි නවතම රබර් කිරි පිහියක් ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය මඟින් සොයා ගෙන ඇත.

රබර් ගසකින් නිවැරැදිව කිරි කැපීම තුළින් අවුරුදු 24ක් පමණ යන තෙක් හොඳ අස්වැන්නක් ලබාගත හැක. මෙතෙක් රබර් කිරි කැපීම සඳහා භාවිත කළ කිරි පිහියෙන් ගස තුවාල නොවන පරිදි හා ගසේ ආයු කාලය රැකෙන පරිදි කිරි කැපීමට හැකි වනුයේ ඉතා හොඳින් පුහුණු වූ අයට පමණි.

දැනට රබර් කර්මාන්තය මුහුණ පා ඇති දැවැන්තම ගැටලුව වනුයේ රබර් ගසේ ආයු කාලය අඩුවීම සහ ප්‍රමිතියෙන් තොරව කිරි කැපීම නිසා ගස් තුවාල වී ගැට හැදී තිබීමයි. මේ හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන පාඩුව රුපියල් කෝටි ගණනකි.

මේ ගැටලුවට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය හඳුන්වා දී තිබෙන නවතම කිරි පිහිය භාවිතයෙන් මි.මී.1.25ට අඩුවෙන් පවතින ලෙස පොත්තේ ඝනකම පාලනය කිරීමටත්, දියපට්ටයට කිසි විටකත් තුවාල නොවන ලෙස කිරි කැපීමත් සිදුකළ හැකිය. මෙහි ඇති විශේෂත්වය වනුයේ කිරි කැපීම පිළිබඳ නුපුහුණු අයකුට වුව ද ඉතාමත් ඉක්මනින් හා නිවැරැදිව කිරි කැපිය හැකි වීමයි.

මේ නවීනතම කිරි පිහිය ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ රත්මලාන කාර්යාලයේ උපදේශක සේවා දෙපාර්තමේන්තුවෙන් අගලවත්ත රබර් පර්යේෂණායතනයෙන් සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගත හැක.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා