ආසියා සහයෝගීතා සංසද රාජ්‍ය නායක සමුළුවට ජනපති කුවේට් යයි

ආසියා සහයෝගීතා සංසද රාජ්‍ය නායක සමුළුවට ජනපති කුවේට් යයි

කුවේටයේදී පැවැත්වෙන ආසියානු සහයෝගිතා සංසදයේ රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතයි.

රාජ්‍ය නායක සැසිය අද (15) ආරම්භ වන අතර එය 17 වැනිදා දක්වා පැවැත්වේ. ඊයේ (14) ආරම්භ වූ අමාත්‍යවරුන්ගේ සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහභාගි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආසියානු රටවල් අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කිරීම මෙන්ම තරඟකාරිත්වය දියුණු කිරීමේ අරමුණින් පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංසදයේදී සමස්තයක් වශයෙන් කලාපයට පොදුවේ බලපාන කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි. ආසියානු කලාපයට අයත් රටවල් 31 ක රාජ්‍ය නායකයන් සහ විදේශ කටයුතු ඇමැතිවරුන් ඇතුළු නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගිවන අතර ආසියාවේ ආර්ථික අභියෝග මෙන්ම ඒ සඳහා විසඳුම් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

මේ සමුළුව කුවේටයේ එමීර්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම සමුළුවට සහභාගිවන අතරවාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදපෙරදිග රටවල රාජ්‍ය නායකයන් සමඟ මෙන්ම සෞදි අරාබියානු රජු සහ කුවේටයේ එමීර්වරයා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා