ගුරුවරු දෙවිවරුමය

ගුරුවරු දෙවිවරුමය

ගුරු දිනය ඔක්තෝබර් 6 වනදාට යෙදී තිබුණි. ඒ සම්බන්ධ නිල උත්සවයක්ද පැවැත්විණි. අපි ගුරු දිනය ගැන අද නිදහසේ කතා කරමු. ඒ සම්බන්ධයෙන් අපට කතා කරන්නට දෙපැත්තකින්ම අයිතිය තිබේ.

සමාජ සංස්ථාවේ කාලයක් අඳුරු මුල්ලේ සැඟවී සිටි ගුරුවරයා අද අභිමානවත්ව ආඩම්බර ලීලාවෙන් එහෙත් නිහතමානීව සිය සේවාව අනාගත පරපුරට ඕනෑකමින් ලබාදෙයි. ගුරුවරයා අතීත දිසාපාමොක්ලා තරමටම සිය රාජකාරිය දේවකාරියක් සේ සලකා මුදලට දෙවන තැන දී කටයුතු කළේ අනාගත පරපුර හදන්නට දිය යුතු දායකත්වය නොපිරිහෙළා ලබාදෙමිනි.

කැපවීම අඩුවක් නැතිව පිරිනමමිනි. එදා ගුරුවරයා වැටුප ගැන බැලූවේ නැත. තාන්න මාන්න සහ තනතුරට ගැළපෙන වැටුප ලැබෙන තුරු සේවය පැහැර හැරියේ ද නැත.

අකුරු කළ ගුරු මහතාටත් වඩා ලොකු වැටුපක් දෙන රාජ්‍ය සේවයේ තනතුරු දැරූ මහත්වරුන්වත් පාලකයන්වත් අඩුම ගණනේ අධ්‍යාපන ඇමැතිවරයෙකුවත් ගුරු දෙවියාගේ අතට ලැබෙන පඩිය ගැන බැලූවේ නැත. වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජන කළේ ද නැත.

කවුරුන් හෝ වැඩ වර්ජන, පිකට්, පෙළපාලි, උද්ඝෝෂණ සංවිධාන කළහොත් පැත්තක සිට පුංචි සහයෝගයක් දීමට ගුරු භවනා පෙළඹුණේ ද මෑතක සිට ය. එහෙත් හිතකින් නොවේ.

අද ගුරුතුමාට, ගුරුතුමියට කවුරුත් ආමන්ත්‍රණය කරන විදියට සර්ලාට, මිස්ලාට සහ මැඩම්ලාට පුංචි පහේ ආඩම්බර ලීලාවකින් ගමේ පාසලට පයින් ගොස් සුපිරි පාසලට වාහනයකින් ගොස් සිත ඇතුළේ තැන්පත් කරගෙන ඇති පුංචි සතුට සමඟ වැඩ කළ හැකි ය.

ඒ නිසා මෙහිදී සියලු ගුරුවරුන්ට ගුරුවරියන්ට සෑම වසරකම ලෝක ගුරු දිනයේ දී පමණක් නොව හැමදාමත් සිහි කළ යුතු දේශපාලන මෙන්ම අධ්‍යාපන චරිතයක් තිබේ. ඒ වෙනින් කවුරුත් නොව රිචඩ් පතිරණය. විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමැති නොවූවානම් ගුරුවරුන්ට අදත් ලැබෙන්නේ පරණ හිඟන වැටුප යැයි කිව්වොත් එය නිවැරැදිය.

අද තත්ත්වය නවීකරණය වී සියල්ල අජීර්ණ වී තිබේ. අද මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු බුද්ධිමත්ම පිරිස ඉල්ලීම් ඉල්ලා වර්ජනය කරති. පයින් ගමන් යති. මාස 4 කට ආසන්න කාලයක් පන්ති කාමරයට නොගොස් මග ඇරියහ. දැන් තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබේ.

ඒ නිසා ගුරුවරුන් ඇතුළු ආචාර්ය භවතුන්ට ජය වේවායි ලෝක ගුරු දිනය සිහිකොට අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා