සිංගප්පූරු නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

සිංගප්පූරු නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි

ශෂිකා-චතුරාංගනී-ධම්මිකා-දීපිකා වෙනුවට අලුත් මුහුණු 4ක්

රටවල් හයක සහභාගිත්වයෙන් යුතුව සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ‘සික්ස් නේෂන්’ නෙට්බෝල් තරගාවලියට යන ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය ඊයේ ලැබිණි.

ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායකත්වයට කණ්ඩායමේ ජ්‍යෙෂ්ටතම ක්‍රීඩිකාවන් දෙදෙනකු වන තර්ජනී සිවලිංගම් හා ගයාත්‍රි ලංකාතිලක නම් කොට ඇත. ශ්‍රී ලංකාවේදී නිමාවූ ආසියානු නෙට්බෝල් තරගාවලියේ අනු ශූරතාව මේ දෙදෙනාගේ සම නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලට හිමි විය.

ආසියානු නෙට්බෝල් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් සිවු දෙනෙකු මෙවර ශ්‍රී ලංකා පිලට ඇතුලත්ව නැත. ‘සෙන්ටර්’ ක්‍රීඩිකා දීපිකා දර්ශනී ට අවස්ථාව අහිමි වී ඇති අතර එම ස්ථානයට ගුවන් හමුදාවේ සුරේකා කුමාරි කැඳවා තිබේ. ඇයට අමතරව ගාල්ල රිපන් බාලිකා විදුහලට ක්‍රීඩා කළ සෙව්වන්දි තාරකා, ගුවන් හමුදාවේ දුලානි එරන්දිකා හා නාවික හමුදාවේ හසිතා මෙන්ඩිස් ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට කැඳවා තිබේ.

ආසියානු තරගාවලියට එක් වූ ශෂිකා සමරසිංහ, චතුරාංගනී ජයසූරිය හා ධම්මිකා මල්කාන්ති තේරීම් තරගවලට සහභාගී නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට නම් කොට නොමැත.

ගයාත්‍රි

සිංගප්පූරු ‘සික්ස් නේෂන්’ නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකාව, මැලේසියාව, නැමීබියාව, අයර්ලන්තය, ටැන්සානියාව හා සිංගප්පූරුව සහභාගී වෙති. ලෝක නෙට්බෝල් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේ සිටින අතර සිංගප්පූරුව 18 වැනි හා ටැන්සානියාව 19 වැනි ස්ථානවල සිටිති. අනෙක් රටවල් තුන ලෝක නෙට්බෝල් කණ්ඩායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට පහළින් පසුවෙති.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියේදී සිංගප්පූරුව වෙතින් ලකුණු 1ක සියුම් පරාජයක් ලැබූ අතර එම පරාජය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්විය.

එම අවසන් තරගයට පළපුරුදු ක්‍රීඩිකාවන් සහභාගි නොකිරීම ඇතුලු කරුණු ගණනාවක් පිළිබඳ මතු වූ චෝදනා විමර්ශනයට ත්‍රි පුද්ගල කමිටුවක් ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අතර එම වාර්තාව තවමත් නිම වී නොමැත.

සිංගප්පූරු ‘සික්ස් නේෂන්’ තරගාවලිය ලබන 2 වැනිදා සිට 8 වැනිදා දක්වා ටෝයෝ පායෝ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල මෙසේය:

තර්ජනී සිවලිංගම් (නායිකා), ගයාත්‍රි ලංකාතිලක (නායිකා), මරීෂා ප්‍රනාන්දු, සමන්ති නිලුක්ෂිකා, සෙමිණි අල්විස්, විශාකා ජයසූරිය, ගයනි දිසානායක, තිශාලා අල්ගම, සෙව්වන්දි තාරකා, දුලානි එරන්දිකා, හසිතා මෙන්ඩිස්, සුරේකා කුමාරි.

අතිරේක: ජී.අශ්විනී, දීපිකා අබේකෝන්, විස්නා කේ.ප්‍රනාන්දු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා