කළුතර පාසල් සිසුන්ට පොත්

කළුතර පාසල් සිසුන්ට පොත්

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් සහිත පවුල් වල පාසල් සිසුන් සඳහා පාසල් පොත් බෙදා දීම පසුගිය දා කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකු විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී.

පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සුජීවා ලියනගේ මහත්මිය මේ පොත් බෙදාදීම සංවිධානය කර තිබුණි.

එහිදී අවදානම් සහිත පවුල්වල ළමුන් එකසිය පනස් නව දෙනකු අතර මේ පාසල් පොත් බෙදාදීම සිදු කෙරුණි.

කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා එහි දී මෙසේ කීවේය.

ළමයින්ගේ අයතිවාසිකම් සුරැකීම රජය මෙන්ම වැඩිහිටිවූ අපගේ සුවිශේෂි යුතුකමක් වනවා. අපි ඔවුන්ට අධ්‍යාපනය ලබා දිය යුතුය. සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් ඕනෑ. එමෙන්ම ඔවුන්ට ඇඳුම් පැළඳුම් සැපයීම ද වැඩිහිටියන්ගේ යුතුකමකි. ඒ කරුණු තුන හැරුණාම රජය හා වැඩිහිටියන් ළමයින්ට ආරක්ෂාව සැපයීම ඉහත කී කරුණු තුනට වඩා බලවත් වෙනවා.

ළමුන්ගේ ආරක්ෂාව ගැන කතා කිරීමේ දී වැඩිම බරක් පැටවී ඇත්තේ මවුපියන් ඇතුළු වැඩිහිටි අයටයි.

රටේ සිදුවන බාලඅපචාර සිදුවීම් පිළිබඳ සලකා බලන විට ඒවායින් දරුවන් බේරාගැනීමේ වැඩි වගකීමක් පැවරී තිබෙන්නේ වැඩිහිටියන්ටයි. ඒ නිසා අප ළමයින් ගැන දැඩි අවධානයකින් රැක බලා ගන්න අතරම ඔවුන් ඉදිරියේ දී ඉතාම ආදර්ශමත් අයුරින් කටයුතු කරන්න ඕනෑ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා