මැතිවරණ සංශෝධනයක් නොකළොත් රජය පෙරළනවා

මැතිවරණ සංශෝධනයක් නොකළොත් රජය පෙරළනවා

පාකිස්තාන ප්‍රබල පූජකයකුගෙන් ආණ්ඩුවට රතු එළියක්

මැතිවරණ ක්‍රියාවලියට අදාළ සංශෝධන ආරම්භ කිරීමට පාකිස්තාන රජය අපොහොසත් වුවොත් අගනුවර විරෝධතා පෙළපාළියක් පවත්වන බවට එරට ප්‍රබල ආගමික නායකයකු තර්ජනය කර තිබේ.

ලක්ෂයක් පමණ සහභාගි වූ ලාහෝරයේ පැවැති රැලියක් අමතමින් මුස්ලිම් විද්වතකු වන ටාහිර් උල් කාඩ්රි පවසා ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන පාකිස්තාන මහ මැතිවරණයට පෙරාතුව අර්ථවත් සංශෝධනයන් සිදුකිරීම අවශ්‍යව ඇති බවය.

"සංශෝධනවලින් තොර මැතිවරණයකින් වැඩක් නැහැ. පවත්නා ක්‍රමය යටතේම මැතිවරණය පැවැත්වුවොත් මහජනතාව එහි ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරාවි'යැයි ඔහු පැවැසීය.

පාකිස්තානයේ හා ලොව පුරා ව්‍යාප්ත දහස් ගණනක අනුගාමිකයන් සිටින ඉස්ලාමීය කණ්ඩායමකට නායකත්වය දෙන්නේ උල් කාඩ්රිය.

"නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මඟ පාදනු පිණිස මැතිවරණ සං‍ශෝධන හඳුන්වා දෙන ස්වාධින ආයතනයක් ගොඩනැඟීම සඳහා රජයට කාලය ලබා දී තිබෙනවා. රටේ ආර්ථිකය හා දේශපාලන පද්ධතිය බිඳ වැටී තිබෙනවා.

ඒවා ධනවත් ඉඩම් හිමියන් හා කර්මාන්ත කරුවන්ගේ ග්‍රහණයට අසුව ඇති අතර අවංක පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩක් නැහැ'යි ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් ජනවාරි 10 වනදා වනවිට සිය ඉල්ලිම ඉටුකිරීමට රජය අපොහසත් වූවොත් සිය අනුගාමිකයන්ගෙන් යුත් මහා පෙළපාළයකින් අගනුවරට පැමිණ ඉල්ලිම ඉටුවන තෙක්ම එහි රැඳී සිටින බව ද ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා