මියන්මාර වැසියෝ 500ක් හොරෙන් මැලේසියාවට

මියන්මාර වැසියෝ 500ක් හොරෙන් මැලේසියාවට

නීතිවිරෝධී අයුරින් මැලේසියාවට ඇතුළුවිම සඳහා දින 15ක් තිස්සේ බෝට්ටු ගමනක යෙදුණු මියන්මාර ජාතිකයන් 500ක් පමණ ඉකුත් සති අන්තයේ ගමනේ අවසන් මීටර 500ක් පිහිනා ගොස් ඇති අතර එහිදි එක් අයකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පෙරේදා ප්‍රකාශ කළේය.

මිටර් 30ක් දිග යාත්‍රාවේ කපිතාන්වරයා ඇතුළු එහි ගමන් ගත් 482 දෙනකු මේ දක්වා සොයා ගෙන ඇතැයි පවසන පොලිසිය, මලක්කා සමුද්‍ර සන්ධියේ පිහිටි ලංකාවි දූපතේ සැඟවී ඇතැයි සැලකෙන තවත් කිහිප දෙනකු ගැන විමසිල්ලෙන් පසුවන බව පවසා තිබේ.

මියන්මාරයේ සිදුවන වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් බේරී පසුගිය වසරේ මැලේසියාවට පලා ආ රොහින්ග්යා මුස්ලිම්වරුන් අතරින් විශාලම කණ්ඩායම මේ පිරිස යැයි විශ්වාස කෙරේ.

මේ සංක්‍රමණිකයන්, ගමන සඳහා ඒජන්තවරයකුට ඩොලර් 300 බැගින් ගෙවා ඇති බව පවසා ඇතැයි පොලීසිය පවසන අතර මාධ්‍ය වාර්තාවලින් පැවැසෙන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනකු රෝගි තත්ත්වයෙන් පසුවන බව හා ඇතැමකු රෝහල්ගත කිරීමට අවශ්‍ය ව ඇති බවය.

ලංකාවි පොලිස් ප්‍රධානියා පවසා ඇත්තේ පෙරේදා අත්අඩංගුවට ගත් යාත්‍රාවේ කපිතාන්වරයා ගමන සඳහා ඒජන්තවරයෙකුට මුදල් ගෙවීමක් සිදු කළ බව නොදන්නා බව පැවැසූ බවය.

මුහුදට පැනීමේදී යාත්‍රාවේ අවරපෙත්තක ගැටීමෙන් එක් අයකු මිය ගොස් ඇති බවත් ඔහුගේ මළ සිරුර ලංකාවි දූපතේ මුස්ලිම් සොහොන් බිමක මිහිදන් කළ බවත් ස්ටාර් පුවත් පත සඳහන් කර තිබිණ.

කෙසේවෙතත් මේ සංක්‍රමණිකයන් පිරිස මැලේසියාව පුරා පවත්නා රැඳවුම් කඳවුරු වෙත යොමු කිරීම සඳහා සංක්‍රමණික දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා