කීනගහවිල ශ්‍රී ආනන්දාරාම චෛත්‍යයේ කොත් පැළැඳවීම

මුවහත් කරනු ලැබේ

කිසිම දරුවකු ඉංග්‍රීසි භාෂාවට බිය නොවිය යුතු බවත්, සෑම අයකුම තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව මෙවලමක් කරගත යුතු බවත් සඳහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ කථාව සමාජයේ බොහෝ පිරිසකගේ ඇගයුමට හා ප්‍රසාදයට පාත්‍ර වී ඇත.

“ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” ජනාධිපති මූලාරම්භන මෙහෙවරේ තුන්වන අදියර අරඹමින් පසුගිය දිනක අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයක දී ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කර තිබුණි.

කතාවට පමණක් සීමා නොවී කතා කරන දේ ප්‍රායෝගික තලයේම ක්‍රියාත්මක කරන දූරදර්ශී ජන නායකයකු ලෙස ප්‍රකට මහින්ද රාජපක්‍ෂ මහතා නගරයේ පමණක් නොව ගම්බද ප්‍රදේශවල ඉගෙනුම ලබන දරු දැරියන් සඳහා ද ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා ක්‍රමික වැඩසටහනක් අරඹන ලෙස උපදෙස් ලබා දීමෙන් පසු 2009 වසරේ ජූනි මස 22 වැනි දින “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” ජනාධිපති මූලාරම්භන මෙහෙවර ආරම්භ වූ අතර එම මෙහෙවරේ පළමු අදියර එදින සිට 2010 ජූලි මස 19 වන දින දක්වා රට පුරා ක්‍රියාත්මක කෙරුණි.

මේ සුවිශේෂ වැඩසටහනේ පළමු අදියර තුළ දී රට පුරා පාසල්වල ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වී සිටින ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් 22,500 ක් අතරින් 60% කටත් වඩා වැඩි ගුරු භවතුන් පිරිසකට දරු දැරියන් සඳහා නිවැරදිව ඉංග්‍රීසි කථනය හා සන්නිවේදනය ඉගැන්වීම සඳහා විශිෂ්ට හා ක්‍රමානුකූලව පුහුණුවක් ද ලබා දෙන ලදී. මේ ගුරු පුහුණු වැඩසටහන සඳහා “දැනුමැති සමාජයක් සඳහා වූ අධ්‍යාපනය” ව්‍යාපෘතිය මඟින් අවශ්‍ය ආධාර දුන් අතර අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නවය ඒකාබද්ධව එකී පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙහි දී මේ සුවිශේෂ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ජාතික වැඩසටහන තව දුරටත් ඉදිරියට ගෙන යමින් ඉන්දීය රජයේ සහය ද ඇතුව, මෙරට පළාත් නවයම නියෝජනය වන පරිදි ඉංග්‍රීසි කථනය පිළිබඳ ගුරු පුහුණුකරුවන් 80 දෙනෙකු තෝරා ගත් අතර ඔවුන්ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හී ඉංග්‍රීසි හා විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පුහුණුවක් ලබා දීම ද සිදු කෙරුණි. මේ ප්‍රධාන ඉංග්‍රීසි ගුරු පුහුණුකරුවන් 320 දෙනෙකු ද පත් කෙරුණු අතර ඉජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” වැඩසටහනේ පළමු අදියර තුළදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉංග්‍රීසි කථනය පිළිබඳ පළවූ විස්තරාත්මක ගුරු අත්පොත ද සම්පාදනය කෙරුණි.

“ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” වැඩසටහනේ පළමු අදියර තුළ දී මේ දැවැන්ත ක්‍රියාන්විතය පිළිබඳ ජාතික මට්ටමේ ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක වීම විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ජාතික මට්ටමේ විදත් හා මුද්‍රිත මාධ්‍ය උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වූ එකී ප්‍රචාරක ව්‍යාපෘතිය නිසාම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මෙතෙක් පැවැති දුර්මත හා අනියත බිය පහකරමින් දරු දැරියනට ඉංග්‍රීසි භාෂාව කතා කිරීම පිළිබඳ උනන්දුව හා ආසාව ඇති කරන ලදී. ඉංග්‍රීසි භාෂාව තවදුරටත් වරප්‍රසාද සහිත පංතිය සඳහා නොවේය යන ආකල්පය ද මේ ප්‍රචාරක ව්‍යාපෘතිය හරහා ඇති කෙරුණි.

මීට අමතරව “ජීවන කුසලතාවක් සඳහා ඉංග්‍රීසි” වැඩසටහනේ පළමු අදියර තුළ දී මේ වැඩසටහන තව දුරටත් ඉලක්කයක් වෙත සාර්ථකව මෙහෙයවීම උදෙසා ඒ පිළිබඳ පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බළකායට හා ජනාධිපති කාර්යාලය එකට එකතුව, එකමුතුව ක්‍රියාත්මක වනු පිණිස “බත්තරමුල්ලේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ විශේෂ ජනාධිපති වැඩසටහන් ඒකකයක් ද පිහිටුවීය.

මාස 13 ක කාලයක් තුළ අපේක්‍ෂිත ඉලක්ක වෙත ක්‍රම ක්‍රමයෙන් ළඟා වූ මේ ජාතික ඉංග්‍රීසි කථන වැඩසටහනේ පළමු අදියර 2010 ජූලි මස 19 වැනි දින නිමාවට පත්වුණු අතර එදිනම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කෙරුණි.

මේ දෙවැනි අදියර 2013 පෙබරවාරි මස 19 වැනි දින දක්වා ක්‍රියාවට නැඟුණු අතර මෙම අදියර තුළදී දිවයින පුරා ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගෙන් මෙම වැඩසටහනේ පළමු අදියර තුළ පුහුණුව නොලැබූ ඉතිරි 40% ක පිරිස සඳහා සාර්ථක ලෙස පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. මේ අනුව ජීවන කුසලතාවක් සඳහා ඉංග්‍රීසි වැඩසටහනේ දෙවැනි අදියර අවසන් වන විට මෙරට පොදු පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂාව උගන්වන සියලුම ගුරුවරු ඉංග්‍රීසි කථනය ඉගැන්වීමේ ක්‍රියාවලියේ නිරත වී සිටින අතරතුර පැය 80 ක පුහුණුවක් ද ලැබූහ.

තව ද මේ දෙවැනි අදියර තුළ දී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන් හී පුහුණුව ලබන සහ ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත ඉංග්‍රීසි ගුරුවරුන් හට ඉංග්‍රීසි භාෂාව කථනය පිළිබඳ ඉගැන්වීමේ නවීන ශිෂ්‍ය ක්‍රම ප්‍රගුණ කිරීම සඳහා එම විද්‍යා පීඨයන් හි කථිකාචාර්යවරුන්ට ද ප්‍රධාන ගුරු පුහුණුකරුවන් විසින් පුහුණු කරන ලදී.

මේ අතර පළමු අදියර තුළදී සම්පාදනය කරන ලද “ජීවන කුසලතාවන් සඳහා ඉංග්‍රීසි” ගුරු අත්පොතෙහි ඇතුළත් වූ ගුරුවරුන් හරහා සිසුනට ශ්‍රවණ හා කථන කුසලතා සන්නිවේදනය කිරීමේ නව ශිල්ප ක්‍රම මේ දෙවැනි අදියර තුළදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන් හි විෂය මාලාවට ද ඇතුළත් කෙරුණි. වර්තමානයේදී සියලු පාසල්වල ගුරු භවතුන් විසින් පරිහරණය කරන “ඉංග්‍රීසි ඉගැන්වීමේ ගුරු අත්පොත” මෙම අවදියේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන් හි ඉගැනුම ලැබූ සියලු නවක ඉංග්‍රීසි ගුරුවරුන්ට ලබා දුන්හ.

එපමණක් නොව මෙම අදියරේ දී “කථන ඉංග්‍රීසි” දැඩි සේ අවධාරණය කරන ලද පැය 100 ක ඉංග්‍රීසි පාඨමාලාවක් ද සම්පාදනය විය. එසේම පාසල්වල සියලුම විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් සඳහා වූ පැය 100 ක පුහුණු වැඩසටහනක් ද ඇරඹුණි.

“ජීවන කුසලතාවක් සඳහා ඉංග්‍රීසි” වැඩසටහනේ දෙවන අදියර නිමා වන විට දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් 5000 ක් පමණ මෙම පැය 100 පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරී ය. කෙසේ වුවත් සියලුම පාසල්වල විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පුහුණුව ලබන තෙක් මෙම පැය 100 පුහුණු පාඨමාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ සියලු වැඩසටහන්වලට සමගාමීව “කථන ඉංග්‍රීසි” ඉගැන්වීමේ කුසලතා ඇතිකර ගෙන ඇති ගුරුවරුන්ගේ හැකියා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් එකිනෙකට ආශ්‍රිත ක්‍රියාකාරකම් රාශියක් ද ආරම්භ කර ඇත.

පාසල්වල 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා පංති කාමර මට්ටමින් ඇගයීම සඳහා පාසල් පාදක ඇගයීම් මෙවලම් සකසා ගුරු අත්පොතට ද ඇතුළත් කෙරුණු අතර ජාතික අධ්‍යාපන ආයතනය විසින් මේ ඇගයීම් මෙවලම් මේ වන විට සියලුම ශ්‍රේණි සඳහා ද සම්පාදනය කර ඇත. ඉදිරියේ දී ඒවා සියලු ගුරු භවතුන් වෙත බෙදා දීමට ද නියමිත අතර විභාග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සැකසුණු 10 හා 11 ශ්‍රේණිවලට අදාළ විභාග හා ඇගයීම් උපදෙස් මාලා මේ වන විටත් පාසල්වල ගුරු භවතුන් වෙත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇත.

බිය සැක දුරුකොට ජාත්‍යන්තරය හා තරඟයට යා හැකි ඉංග්‍රීසි භාෂා දැනුමෙන් මුවහත් යහපත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම “ජීවන කුසලතාවක් සඳහා ඉංග්‍රීසි” ජාතික වැඩසටහනට සමගාමීව පාසල් 308 ක ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමර ඇතිකිරීම ද මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක වූ කාලයේ දී සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. මෙම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමර නවීනතම තාක්ෂණයෙන් හා සියලු බහු මාධ්‍ය පහසුකම්වලින් සමන්විත වීම වි‍ෙශ්ෂයෙන් කැපී පෙනේ.

මෙම දෙවන අදියර තුළ දී සියලු පළාත්වලින් බඳවා ගත් තවත් ඉංග්‍රීසි ගුරු පුහුණුකරුවන් 42 දෙනෙකුට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි ඉංග්‍රීසි සහ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලබා දෙන ලදී. තව ද මෙම අදියරගත කාලසීමාව තුළ දී දිවයිනේ පිහිටි සියලුම පාසල්වල, විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ඉගැන්වීම් කෙරෙන පාසල්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජනාධිපති මූලාරම්භක මෙහෙවරෙහි බලපෑම නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ද සැකසුණු අතර ඒ සඳහා සම්පත් දායකයින් ලෙස අධ්‍යාපන සහකාර අධ්‍යක්‍ෂවරුන්, ගුරු උපදේශකයින් හා ප්‍රධාන ගුරු පුහුණුකරුවන් තෝරා ගැනුණි.

මේ වන විට ඉංග්‍රීසි බස ඉගැනුම සහ ඉගැන්වීම ප්‍රබෝධජනක සහ ආස්වාදනීය බවට පත් කරනු පිණිස එක් ශ්‍රේණියකට ක්‍රියාකාරකම් තිහ බැගින් අන්තර්ගත කර හය ශ්‍රේණියේ සිට එකොළොස්වැනි ශ්‍රේණිය දක්වා වන මෙවලම් අත්පොතක් ද සම්පාදනය කර ඇති අතර එය මෙම වැඩසටහනේ තුන්වැනි අදියර ආරම්භ වූ 2013 පෙබරවාරි 19 වැනි දින දොරට වැඩියේ ය.

“ජීවන කුසලතාවක් සඳහා ඉංග්‍රීසි” වැඩසටහනේ තුන්වැනි අදියරට සමගාමීව පාසල්වල 10 හා 11 ශ්‍රේණිවලට ඉංග්‍රීසි ඉගැන්වීම පහසු කිරීම සඳහා වන ඩී වී ඩී තැටි 50 න් යුත් මෘදුකාංග මාලාවක් ද එළිදුටුවේ ය. මේ ඩී වී ඩී තැටි 50 කින් සමන්විත පාඩම් මාලාව පෙබරවාරි 23 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7 ට ජාතික රූපවාහිනියෙන් විකාශනය කිරීමට ද කටයුතු යොදා ඇත.

මේ ඉංග්‍රීසි භාෂා ජාතික වැඩසටහනේ නව අදියරේ සමස්ත ඉලක්කය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉංග්‍රීසි ශ්‍රවණ හා කථන කුසලතාවයන් වැඩිදියුණු කිරීමත්, ඒ සඳහා ඉංග්‍රීසි ගුරු ප්‍රජාව සූදානම් කිරීමත් බව සඳහන් වන අතර නිර්මාණය කරන ලද ඩී. වී. ඩී. තැටි 50 කින් සමන්විත මෘදුකාංග කට්ටල දිවයින පුරා සාමාන්‍ය පෙළ පංති පවතින පාසල් 6788 ක් අතරින් 2000 ක් වෙත බෙදාහැරීමට ද කටයුතු යොදා ඇත. ආරම්භයේ දී එසේ වුවත් ඉදිරි කාලය තුළ අනෙකුත් සියලුම පාසල් වෙත ද මෙම ඩීවිඩි කට්ටල බෙදාහැරීම සංවිධායකයින්ගේ බලාපොරොත්තුවයි.

“ජීවන කුසලතාවක් සඳහා ඉංග්‍රීසි” ජනාධිපති මූලාරම්භක මෙහෙවරේ අපේක්‍ෂිත ඉලක්කය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පෘථුල අවබෝධයක් ඇති ඉංග්‍රීසි භාෂාව කථා කරනා සමාජයක් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම බිහිකිරීමයි. ඈත ගම්දනව්වල දරුවන්ට සිහිනයක්ව තිබුණු ඉංග්‍රීසි ඉගැන්වීමේ ආසාව යථාර්ථයක් බවට පත් කරමින් ඉංග්‍රීසි නම් කඩුවෙන් ඔවුන් මුවහත් කරවන මෙම මාහැඟි ජාතික කර්තව්‍යය පිටුපස යෝධ සෙවනැල්ලක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිටින අතර එතුමන් විසින් මෙම වැඩසටහන සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ශක්තිය හා පන්නරය ලබා දීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයකි. එසේම ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ කැඳවුම්කරු ලෙස තම සමීපතම උපදේශකයකු වන සුනිමල් ප්‍රනාන්දු මහතා පත්කිරීමට ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගත් තීරණය ඉතා බුද්ධිමත් තීරණයක් බව පෙනී යන්නේ තම සියලු හැකියාවන් හා ශක්තීන් යොදවමින් සියල්ල මනා ලෙස සම්බන්ධීකරණය කර “ජීවන කුසලතාවක් සඳහා ඉංග්‍රීසි” වැඩසටහන ජාතික මට්ටමේ දැවැන්ත අධ්‍යාපනික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකියාව ලැබී ඇති බැවිනි.

චන්දිමා එදිරිමාන්න

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා