නවම් පුන් පොහෝ දා ධර්මානුශාසනාව

නවම් පුන් පොහෝ දා ධර්මානුශාසනාව

සිත පහදා ගැනීම නිරෝගි දිවියට මඟයි

වටිනාපහ සෝමානන්ද හිමි පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස....
ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතත්ති තප්පති – භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ


"පව් කරන්නා මෙලොව දීත් තැවේ. පරලොව දීත් තැවේ. දොලොව දීම තැවේ. මා විසින් පව් කරන ලදැයි සිතමින් තැවේ. දුගතියට ද යමින් බෙහෙවින් පසුතැවේ."

සුපින්වතුනි,

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සන්ධිස්ථානයන් රැසක් සනිටුහන් වූ පොහොයක් වශයෙන් මෙම නවම් පුර පසළොස්වක පොහෝ දා හැඳින්විය හැකිය. මිනිස් සත්ත්වයාට අකුසලින් තොරව ජීවිතයක් ගත කිරීමේ ඇති වැදගත්කම ලොවට කියා පාමින් තිලෝගුරු අමැමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේ අද වැනි නවම් පුන් පොහෝ දිනකය.

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමත් සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීමත්, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් මෙම පොහොයේ සිදුව ඇති වැදගත් කරුණු වන්නේ ය.

පෙරුම් දම් පුරමින් පැමිණි සාංසාරික ගමන් මඟේ දී මිනිස් ආත්මභාවයක ඔබ මෙලෙස උපත ලබා තිබේ. මීට පෙර ආත්ම භවයන්හී දී කෙලෙස, කිනම් ස්වරූපයකින්, කවරෙකු ලෙසින් උපත ලබා සිටින්නට ඇත්තේ දැයි ඔබ මෙන්ම මා ද නොදනී. පූරුවේ පෙර පිනකට ඔබ අප සැවොම මිනිස් ආත්මයක සැබෑම උරුමක්කාරයන් වී සිටීම ම කෙතරම් භාග්‍යයක් ද?....

මව්කුස තුළින් හඬමින් පැමිණ මෙලොව එළිය දුටු දා පටන් වසර ගණනාවක් දිවි ගෙවන ඔබ, ගෙවුණු ඔබේ ළමා වියට මොහොතකට යන්න. මනසට බරක් නැති, මහා මෙරක් වන් වගකීම් සමුදායක් නොතිබූ ඒ සුන්දර ඡ්මා වියට තිබුණු එකම බලාපොරොත්තුව වූයේ හොඳින් ඉගෙන ගැනීම පමණකි.

කල් යත්ම අත් දඬු කර උස් මහත් වී වයසින් මුහුකුරා ගිය ඔබ, දිනෙන් දින වගකීම් දරමින් භාර දූර කර්තව්‍යයන් රැසක් කර පින්නා ගත් වැඩිහිටියෙකු වූයේ ය. හෙට දිනයේ ඔබ දරුවන් කිරිප දෙනෙකුගේ දයාබර පියාණන්ව, සෙනෙහෙබර මෑණියන්ව සිට මුණුපුරු මිනිපිරියන්ගේ ආදරණීය සීයා හෝ ආත්තම්මා වෙමින් ඒ අහිංසක මල් කැකුළුවලට සමාජයේ හොඳ නරක කියා දී මිය පරලොව යන්නේ ය.

සුපින්වතුනි, කුඩා කළ සිට ඔබ පින් දහම් කළේ නම්, පස් පව් වලින් වැළකී ආදර්ශමත් ජීවිතයක් ගත කළේ නම්. අන් අයට බාධාවක් හිරිහැරයක් නොවී ඔබ යහපත් ගුණවතෙකු මෙන් ජීවත් වූයේ නම්. ඔබ මේ මිනිස් ආත්මභවයේ සැබෑම හරය වටහා ගෙන ඔබගේ ඊළඟ ආත්මභාවය සාක්ෂාත් කර ගත් උත්තමයෙකු බවට පත් වන්නේය.

සිදුහත් බෝසතාණෝ සාරා සංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරාගෙන පැමිණ සියලු කෙළෙසුන් නසා බුද්ධගයාවේ දී එදා සම්මා සම්බුද්ධත්වයට පත්ව සකළ ලෝකවාසීන්ගේම හිත සුව පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ මේ සසරින් එතෙර වී නිවනට යන මාර්ගයයි.

එනිසා සුපින්වතුනි, එපා කිසිවිටෙකත් පව් කම් කරන්න. ඔබගේ සිත සුඛී සුවපත්භාවයට පත් වූවොත් පමණයි ඔබ කරන කියනා සියල්ලක්ම යථාර්ථයන් බවට පත්වෙන්නෙ. හැම මොහොතකම හිතන්න, උදෑසන අවදි වූවාට පසු රාත්‍රී නින්දට යන තුරාම ඔබගේ ක්‍රියාවකින්, වදනකින් හෝ අඩුම තරමේ සිතිවිල්ලකින්වත් රහසින් හෝ පවක් නොකරන්න.

ඔබ, ඔබගේ සිත පහදා ගෙන ජීවත්වන්නේ නම් ඔබට නිදුක් නීරෝගී චිර ජීවනයත්,ආයු වර්ණ සැපබල සම්පත්තියත්, දිවියේ මෙන්ම වෘත්තියේ ද ප්‍රගතියක් උදා වනු නියතය.

සුඛී දීඝායුඛෝ භව.......!!!

පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි....!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා