කීනගහවිල ශ්‍රී ආනන්දාරාම චෛත්‍යයේ කොත් පැළැඳවීම

කීනගහවිල ශ්‍රී ආනන්දාරාම චෛත්‍යයේ කොත් පැළැඳවීම

කලටුවාව - කීණගහවිල ශ්‍රී ආනන්දාරාම මහා විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම රතනපාල බුද්ධරක්ඛිත මහානායක හා ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක මහෝපාධ්‍ය අඹේවෙල පඤ්ඤාසාර මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් මේ මස 25 වැනිදා (අද) සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේ

විහාර මන්දිරයේ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා විහාර මන්දිරය විවෘත කිරීමට පැමිණි දා

ධර්මශාලා මන්දිරය

මනස්කාන්ත වටපිටාවකින් හෙබි නෙත් සිත් බැඳගන්නා අලංකාර භූමි භාගයක මෙම පූජා භූමිය පිහිටා ඇති අතර කලටුවාව, කීණගහවිල, නුගදණ්ඩ, වෑවිල, රංදහඩිය, තට්ටුගල, රංහොටියාදෙනිය හා දෙහිගහමුකලාන යන ප්‍රදේශ රැසක ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ඇති එකම විහාරස්ථානය මේ ශ්‍රී ආනන්දාරාම මහා විහාරස්ථානයයි.

බොදු හදවත් සනහාලන මේ පුණ්‍ය භූමිය කෙරෙහි බෞද්ධ ජනතාව දක්වන්නේ ඉමහත් ගෞරවාදර භක්තියකි. තව ද මේ විහාරස්ථානය පිහිටි ප්‍රදේශය දිසා තුනකට මායිම්ව පිහිටා තිබීම ද සුවිශේෂයකි. එනම් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරියත්, කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ලත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩත්, මීට මායිම්ව පිහිටීම විශේෂයකි.

විහාරස්ථානයට ළඟා විය හැකි මාර්ග කිහිපයක් ද වන අතර එම මාර්ග වන්නේ ඇහැලියගොඩ සිට ගැටහැත්ත හරහා විහාරස්ථානයට දුර කි. මී. 26 කි. අවිස්සාවේල්ල සිට ගැටහැත්ත හරහා පැමිණෙන විට දුර කි. මී. 23 කි. ඉංගිරියේ සිට මහ ඉංගිරිය හරහා කි. මී. 10 ක් වන අතර පාදුක්කේ සිට බෝපේ හරහා වෑවිල ඔස්සේ පැමිණෙන විට විහාරස්ථානයට ඇති දුර ප්‍රමාණය කි. මී. 18 කි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2493 වර්ෂ 1950 දී පමණ මේ විහාරස්ථානය ආරම්භ කර ඇත්තේ ඉතා කුඩාවට ය. උතුරු කරඳන ශ්‍රී සුමනාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ මාපොට ඥාණානන්ධාභිධාන හිමිපාණන් වහන්සේ හා මිටිපොල ශ්‍රී විසුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පේරාදෙණියේ ‍ෙප්මානන්දාභිධාන හිමිපාණන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ උඩු නුවර වැලිගල්ලේ ශ්‍රී සුදර්ශනාරාම බෝධිමළු විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ශ්‍රී සද්ධර්මවාගිස්වර මහෝපාධ්‍ය තෙන්නකෝන්වල ශ්‍රී චන්ද්‍රානන්දාභිධාන හිමිපාණන් වහන්සේගේ පැවිදි සහෝදර උඩවෙල උපනන්ද හිමියන් විසින් මෙම විහාරස්ථානය වැඩි දියුණුවට කටයුතු කර ඇත.

වැලිගල්ල බෝධිමළු විහාරය කීණගහවිල ශ්‍රී ආනන්දාරාමය යන උභය විහාරාධිපති ධුරය උසුලන මධ්‍යම පළාතේ අධිකරණ සංඝනායක සර්වඥ විශාරද මහෝපාධ්‍ය වැලිගල්ලේ උපරතනාභිධාන හිමියන්ගේ ආශීර්වාදය හා අනුශාසනා පරිදි මෙහි විහාරාධිකාරී පූජ්‍ය කුරුන්දම්කුලමේ ධම්මවංශ හිමියන්ගේ මෙහෙයවීම යටතේ විහාරස්ථානයේ වත්මන් දියුණුව සිදු වී ඇත. උන්වහන්සේගෙන් ඉටුවන සේවය ද අතිමහත් ය.

2007 වසරේ සිට මේ කීණගහවිල ශ්‍රී ආනන්දාරාම මහා විහාරස්ථානයේ දියුණුව ක්‍රමයෙන් ඇති වීමත් සමඟ විහාරස්ථානයේ අඩුවක්ව පැවති අභිනව විහාර මන්දිරය ප්‍රදේශවාසී බෞද්ධ ජනයාගේ ආධාර උපකාර මත ඉදි කෙරිණි. එහි ඉදිකිරීම් කටයුතු නිමාවීමෙන් පසු ඉකුත් 2011 වසරේ මාර්තු මස 24 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මේ විහාරස්ථානයට අනුබද්ධ සංවිධාන රැසක් පිහිටුවා ඇති අතර කීනගහවිල දායක සභාව, යසෝදරා කුලඟන සමිතිය, ආනන්ද එක්සත් සුබසාධක සංගමය, තරුණ බෞද්ධ සමිතිය, පුණ්‍යාධාර උපාසක සමිතිය හා ශ්‍රී ආනන්ද පූර්ව ළමා මධ්‍යස්ථානය මේ අතර වේ.

විහාරස්ථ ශ්‍රී ආනන්ද දහම් පාසල ද පවත්වාගෙන යන අතර මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලයේ පිරිස 17 දෙනෙකි. ප්‍රදේශයේ සිසු දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය ඉතා ඉහළ කේන්ද්‍රස්ථානයකට ගෙන ඒමේ අරමුණින් විහාරාධිකාරී හිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මනා කැපවීමකින් යුතුව මෙම දහම් පාසල පවත්වාගෙන යාමට කැප වී සිටිති.

ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ හා ලක්වාසී බෞද්ධ ජනතාවගේ පූර්ණ සහයෝගය හා ආධාර උපකාරි මත රුපියල් ලක්‍ෂ 50 ක පමණ වියදමින් ඉදිකරන ලද අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැලඳවීමේ පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන මෙම 25 වැනි දින (අද) එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සබරගමු පළාත් ආණ්ඩුකාර වි. ජ. මු. ලොකුබණ්ඩාර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු මෙන්ම ගිහි පැවිදි ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා