මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසැඳුම් දිය හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් පමණයි

මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසැඳුම් දිය හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් පමණයි

- ජනපති

නව තාක්ෂණික ලෝකය සහ වාණිජ්‍ය සමාජය සමඟ සිදුවන මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසඳුම් ලබාදිය හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

එබැවින් බෞද්ධ දර්ශනය තුළ සමාජය හැඩගැස්වීම සඳහා අපේ රටේ පමණක් නොව ලෝක ප්‍රජාවට ද බෞද්ධ දර්ශනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ ජාතික සහ ජාත්‍යන්තර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ත්‍රෛනිකායික  මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා මත නව රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණු රාජ්‍ය වෙසක් උත්සව සැමරුම් උළෙලට එක්වෙමිනි.

මහියංගණ රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (04) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේදී අරන්තලාව භික්ෂු සංහාරයේදී තුවාල ලබා දැනට ආබාධිත තත්ත්වයේ පසුවන ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මූල්‍ය පරිත්‍යාගයක් කළ අයුරු. බුද්ධශාසන ඇමැති කරු ජයසූරිය, එජාප ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරු ද ෙමහි වෙති. ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

බෞද්ධ ඉතිහාසයේ ද මහියංගණය මහා පූජා භූමියක් ලෙස සැලකේ.

බුදුන්වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශයේ පහස පළමුව විඳ ගත්තේ මේ බිම් පෙදෙස වීම ඉන් එක් හේතුවකි.

බුදුන්වහන්සේ මහියංගණයට වැඩමකොට යක්ෂ ගෝත්‍රයන් අතර සිදුවීමට ගිය යුද්ධය සමථයට පත් කළ අතර එම ගමනේදී සමන් දෙවියන් බණ අසා සෝවාන් වීම තවත් සිද්ධියකි.

බෞද්ධ ආගමිකයන් අතර මහත් ගෞරවයට පාත්‍ර වී ඇති මහියංගණය විහාරස්ථානයේ ජාතික වෙසක් උත්සවය පැවැත්වීම අතීත සංසිද්ධීන් සමඟ බැඳුණු සුවිශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැක.

ජාතික වෙසක් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ජනාධිපතිවරයාට උත්සවය වෙනුවෙන් සැකසුණු සමරු මුද්දරයක් තැපැල් ඇමැති එච් .එම්. හලීම් මහතා විසින් පිළිගැන්වීය.

මෙහිදී වෙසක් ගීතයක් ද එළි දැක්විණි.

තාක්ෂණයෙන් යමෙක් දියුණුවුවත් මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීම පෙන්නුම් කරනුයේ බෞද්ධ දර්ශනයෙන් යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් වඩවඩා ලබාදීමට සැලසුම් කැර ඇතැයි කී ජනාධිපතිවරයා දීඝවාපි පූජාභූමිය ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කැර ඇතැයිද කීය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක ලේඛකාධිකාරී පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි, මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාරධූර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි, අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමි ප්‍රධාන මහා සංඝරත්නය, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය පරිපාලන සහ බෞද්ධ කටයුතු ඇමැති කරු ජයසූරිය, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, ඉඩම් ඇමැති ගුණවර්ධන, ඇමැතිවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, අනෝමා ගමගේ, ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු, එජාප ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්ම මහමීන් ඇතුලු අතිවිශාල බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා