නේපාලයේ සුන්බුන් අතර සිටි 101 වියැති අයෙක් බේරා ගැනෙති

නේපාලයේ සුන්බුන් අතර සිටි 101 වියැති අයෙක් බේරා ගැනෙති

නේපාල භූමිකම්පාවෙන් සතියක් ඉකුත්ව තිබියදී පෙරේදා 101 වියැති වයෝවෘධ පුද්ගලයකු සුන්බුන් අතර හිරවී පණ පිටින් සිටියදී බේරාගැන්මට ගැලවුම් කණ්ඩායම් සමත්ව තිබේ. මේ අතර මේ වනවිට 7200 කට වැඩි පිරිසක් මේ භූමිකම්පාවෙන් ජිවිතක්ෂයට පත්ව ඇතිබව ප්‍රකාශ කරන රජය එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇත. ඒසමගම 14000කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවද රජය පවසා තිබේ.

ඉකුත් අප්‍රේල් 25 දා භුමිකම්පාව සිදුවන විට කිමටාන් ගම්මානයේ සිය නිවසේ සිටි ෆුන්චු ටාමන් නම් වයෝවෘධ පුද්ගලයා එම නිවස කඩා වැටීමෙන් පසු සුන්බුන්වලට යටවී සතියක කාලයක් ගෙවා ඇති අතර ඔහුගේ අත හා වළලුකරට සිදුව ඇති සුළු තුවාල හැරෙන්නට බරපතළ තත්ත්වයකට මුහුණ දී නොතිබිණ. කෙසේවෙතත් ඔහු වහා හෙලිකොප්ටර් යානයකින් දිස්ත්‍රික් රෝහල වෙත ගෙනයන ලද අතර ඔහුගේ තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් පවසා තිබේ.

මේ අතර භූමිකම්පාව දරුනු ලෙස බලපෑ සින්දුපාල්චෝක් ප්‍රදේශයේදී සුන්බුන් අතර හිරවී සිටි තවත් කාන්තාවන් තිදෙනකු එදිනම පොලීසියේ ගැලවුම් කණ්ඩායම් විසින් බේරාගෙන ඇත. කෙසේවෙතත් මේ වනවිට බලධාරින් සුන්බුන් අතර ජීවත්වන්නවුන් සොයා වෙහෙසෙනු වෙනුවට දුෂ්කර ප්‍රදේශවලට කොටුවී සිටින දස දහස් ගණන් ජනතාවට සහන සැපයීම කෙරේ වැඩි අවධානයක් යොමා ඇතැයි පැවසේ.

මේ අතර භුමිකම්පාවෙන් විනාශ වී ඇති කඳුකර ගම්මාන වලට සහන කණ්ඩායම් ළඟාවීමෙන් පසු මියගොස් ඇති සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවිය හැකි බව මුදල් ඇමති රාම් ෂරාන් මහත් පවසා ඇත."සමහර ගම්මානවල නිවාස සියල්ලම පාහේ බිමට සමතලා වී තිබෙනවා . ඒත් ඒ ප්‍රදේශවලට ළඟාවීමට තවමත් නොහැකිව තිබෙනවා 'යැයි ඔහු කීවේය. ඒ අතරම තවමත් පසුකම්පන සිදුවෙමින් පැවතීමද මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතු වනු ඇතැයිද ඔහු පැවසීය.

භූමිකම්පාව දරුනු ලෙස බලපෑ ගොර්කා හා සින්දු පාල්චෝක් ප්‍රදේශවල ගලින් හා‍ ගඩොලින් මෙන්ම මැටියෙන් කළ නිවාස වලින් 90% ක්ම මුළුමනින්ම විනාශ වී ඇති බව පැවසේ.

මේ අතර ලොව දස දෙසින් නේපාලයට ආධාර ගලා එනමුත් රේගු නිලධාරින්ගේ මන්දගාමි ක්‍රියාකලාපයෙන් බොහෝ සහානාධාර ගුවන්තොටුපොලේ ගොඩගැසී ඇතැයි චෝදනා කෙරී තිබේ. තවද ත්‍රිබුවන් අන්තර්ජාතික ගුවන්තොටුපොලට විශාල ගුවන් යානා ගොඩබැස්ස වීම තාවකාලිකව නවතා ඇත. ඒ පසුකම්පනාදියෙන් එහි ධාවන පථය හානියට පත්විය හැකි බව සලකමිනි. මේ නිසා ආධාරගෙන එන සියළුම ගුවන් යානා කත්මන්දු ගුවන්තොටුපොලට පැමිණෙන බැවින් එහි ඉඩකඩ මදිවිමද ප්‍රශ්නයක්ව ඇතැයි පැවසේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා