ශ්‍රීලනිපය කියනවානම් මුලින්ම ඇමැතිකම අත්හරින්නේ මම

ශ්‍රීලනිපය කියනවානම් මුලින්ම ඇමැතිකම අත්හරින්නේ මම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තමා සිටින බවත් ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගන්නේ නම් ඇමැතිකම අත්හැරීමට මුලින්ම අත්දෙකම ඔසවා තමා එකඟවන බවත් මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

මේ රජය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බැවින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කළ හෙයින් තමන්ට ඇමැතිකම් ලැබුණු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා සිය විමධ්‍යගත මුදලින් රුපියල් ලක්ෂ දහයක් වෙන්කර තෙබුවන පැලපිටියාගොඩ විහාරස්ථානයේ ඉදිකළ ප්‍රජාශාලාව ජනතා අයිතියට පත් කෙරුණු උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුව තමයි ‍මම මේ ඇමැතිකම බාරගත්තේ. එදා මම ජනාධිපති කාර්යාලයට යනකම් දන්නේ නැහැ මට ඇමැතිකමක් තියෙනවා කියා. මගේ තිබෙන දක්ෂතාවය උනන්දුව කැපවීම මත වෙන්න ඇති ජනාධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් මට මේ ඇමැතිකම දෙන්න තීරණය කළේ.

මම මේ ඇමැතිකම අරගෙන තියෙන්නෙ ඩීල් දාල නෙමෙයි. මේ රජය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ නිසා ජනාධිපතිවරයා සිතන්න ඇති මේ රටේ වෙන සංවර්ධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීමට.එම නිසා තමයි අපිට මේ ඇමැතිකම ලැබී තිබෙන්නෙ. එහෙම ඇමැතිකම නොලැබුණු අයට සිත් රිදීම් සහ කලකිරීම් තිබෙන්න පුළුවන්. මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හෙට තීරණයක් ගන්නවානම් ඇමැතිකම අතාරින්න මම තමයි මුලින්ම අත් දෙකම උස්සලා ඇමැතිකම අතාරින්නේ මම ඉන්නේ පක්ෂ ප්‍රතිපත්ති සමඟයි‍.

හැබැයි මම මේ ඇමැතිකම ලබාගත්තට පස්සේ අපිට ශක්තියක් ලැබී තිබෙනවා. අපේ පාක්ෂිකයන්ට වුනු හිරිහැර සම්පූර්ණයෙන් මගහැරී ගියා. පුද්ගලයන් වටා දේශපාලනය කිරීම සුදුසු නැහැ කියා මා සිතනවා.

ඒ එක්කම පසුගියදා ජනාධිපති තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දුවක් ඉටුකරමින් 19වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මගේ දේශපාලන දිවියේ බලය අත ඇරපු නායකයෝ ලෝකයේ කිසිම රටක දැක නැහැ. විශේෂයෙන් කැබිනට් මණ්ඩලය සීමා කිරීම රටේ ආර්ථිකයට විශාල ලෙස බලපානවා. ව්‍යවස්ථාවටම ඇතුළත් කර තිබෙනවා. කැබිනට් ඇමැතිවරු 30ක් හා රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරු 45 වශයෙන්. රටේ ජනතාව වශයෙන් අපට සතුටුවිය හැකි ජනාධිපතිතුමා කියන දේ කරන නායකයෙන් හැටියට.

වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව දිහා නොබලපු විදේශ රටවල් ලංකාවට ඇවිල්ලා උදව් කරන්න කටයුතු කරනවා. ඇමරිකාවේ විදේශ ලේකම් වරයෙක් මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ 1972 වර්ෂයේ . නමුත් ජනාධිපති තුමාගේ විදේශ ප්‍රතිපත්ති පිළිගනිමින් වර්තමාන අමෙරිකාවේ විදේශ ලේකම් ජෝන් කෙරී මහතශ්‍රී ලංකාවේ කළ සංචාරය සහ කළ ප්‍රකාශ මඟින් ලංකාවට ලෝකයේ බලවත්ම රාජ්‍යයේ සහාය අපට ලැබී තිබීම සතුටුදායක කාරනයක් බව මම දකිනවා යැයිද වැඩිදුරටත් පැවසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා