අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමෙන් මානව ගුණධර්ම අලුත් කරමු

අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමෙන් මානව ගුණධර්ම අලුත් කරමු

රත්පැහැ එරබදු මලින් සුසැදි අවට පරිසරයෙන් ද නොනවත්වා රිද්මයට නාද දෙන කෝකිල කූජනයෙන්ද ඉගිකරනුයේ ‘ වසන්ත සැණකෙළි’ කාලය පැමිණි බවකි. නොඑසේනම් සිංහල අලුත් අවුරුදු උදාව ඇරැඹි ඇති බවකි.

සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ ශී‍්‍ර ලාංකිකයන් වන අප විසින් ඉටුකරනු ලබන චාරිත‍්‍ර වාරිත‍්‍ර සිරිත් විරිත් නිසා වඩාත් විචිත‍්‍රවත් සංස්කෘතියක් හිමිකරදී ඇත. විවිධ චාරිත‍්‍ර විධි අතරේ ගනුදෙනු කිරීම ඈත අතීතයේ සිටම අප හා බැඳුණු ඉතා වැදගත් චාරිත‍්‍රයක් සේ ගිනිය හැකි ය.

ගනුදෙනු කිරීම යහපත් සමාජ සම්බන්ධතා ගොඩනඟන, යහපත් ආකල්ප සිතුම් පැතුම් ජනිත කරවන උතුම් කටයුත්තකි. එය පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය සුහදතාව, මිතුදම හා යහපත් පාරිසරික සම්බන්ධතාවක් ගොඩනැංවීමත් මනාසේ පිටිවහලක් වන බැවින් ගනුදෙනු කිරීම අප සංස්කෘතියේ සුවිශේෂී අංගයක් ලෙස ද සැලකිය හැකි ය.

ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රය නොඑසේනම් ගනුදෙනු කිරීමේ කලාව අවුත් අවුරුද්දේ ළිඳත් සමඟ හා හා පුරා කියා ගනුදෙනු කිරීමෙන් ඇරැඹිණි. මෙහිදී නිවසේ ගෘහණියට විශේෂ තැනක් ලැබිණි. මේ සියල්ල ඇය අතින් ඉටුවූයේ ඉතා භක්තියෙනි. කැමැත්තෙනි. මක්නිසාදයත් හා හා පුරා ළිද හා ගනුදෙනු කිරීමෙන් ඉදිරි අවුරුද්දේ සියලු කටයුතු තමන් සිතන අයුරින්ම ඉෂ්ට සිද්ධ වන බවට විශ්වාසයක් සෑම දෙනා තුළම තිබෙන නිසා ය.

සමහරු ඇළ හෝ දොළ සමගද මේ ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රය කිරීමට පෙළැඹෙති. මෙය සමස්ත සමාජයටම ලබාදෙන යහපත් ගුණධර්මයකි. වසරක් පුරා ජල සම්පත ලබාදුන් ජල මුලාශ‍්‍රවලට පුද පඬුරු දී ඊට වැඳ වතුර කලයක් පුරවාගෙන එ්ම උත්තරීතර ගනුදෙනුවක් ලෙස සැමදෙනා සලකත්.

ඒ හැර අලුත් අවුරුද්දේ ආහාර අනුභවයෙන් පසුද පුද්ගලයන් අතරද ගනුදෙනු කිරිමක් සිදු කරනු ලැබේ. ආහාර අනුභව කොට බුලත් හුරුල්ලක් දී දෙමාපියන් වැඩිහිටියන් වැද නමස්කාර කොට සියලු වැරැදි වලට සමාව ලබාගෙන, ඉදිරි කටයුතු වලදී ඔවුන්ගේ උතුම් ආශිර්වාදයද ලබාගත් පසුව ගනුදෙනු කිරීමට පෙළැඹෙති.

බුලත් කොළයක දවටන ලද මුදල් නෝට්ටුවක් හෝ කාසියක් ඒ ඒ පුද්ගලයා අත තැබීම මෙහිදී සිදු කෙරේ. ගෘහය තුළදී සිදුවන මෙම ගනුදෙනු කිරීම ව්‍යාපාරික ස්ථානයේත් අනෙක් නෑදෑ හිත මිතුරන් අතරේත් සිදුකරමින් වඩාත් පුළුල් ව ගනුදෙනුකිරීම අද සමාජයේ සිදු කැරේ. ආහාර අනුභව කිරීමෙන් පසු අලුත් අවුරුද්දේ තම ව්‍යාපාරික ස්ථානය විවෘතකොට ගනුදෙනු සිදුකිරීමෙන් ව්‍යාපාරයේ ඉදිරි දියුණුව අපේක්ෂිතය.

බුදු දහමට අනුව මෙලොව යහපත උදාකර ගැනීමට නම් යහපත් ආර්ථික තත්ත්වක් හිමිකරගත යුතුය. අය - වැය මනාසේ පවත්වාගෙන යාම , පාලනය කිරීම ඊට උපකාරි වෙයි. ඊට පසුබිම සැකසෙන්නේ ගනුදෙනු කිරීමෙනි. ‘ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රය’ ලෙස අලුත් අවුරුද්දේ විශේෂ තැනක් දී කටයුතු කරන්නේ ද මෙහි ඇති වැදගත්කම නිසාවෙනි.

අවුරුදු දිනයේදී අසල්වාසීන්ගේ නිවෙස්වලට කැවිලි පිඟානක් රැගෙන යාමෙන් බලාපොරොත්තු වන්නේ ද සිත් අමනාපකම්, තරහමරහ, නොහොඳ නෝක්කඩුකම් සිතින් ඉවත දමා, ඒ සියල්ල අමතක කොට නැවත හිත මිතුරුකම්, ලෙන්ගතුකම්, නෑකම් අලුත් කර ගැනීමයි. කැවිලි පිඟන් ඒ ගෙයින් මේ ගෙටත්, මේ ගෙයින් ඒ ගෙටත් හුවමාරුවීමේ කි‍්‍රයාවලියද ගනුදෙනු කිරීමකි.

එවැනි සිරිතකින් මානව ගුණධර්ම නැවත අලුත් කරන බැවින් සිංහල අවුරුද්දේ ගනුදෙනු කිරීමේ කලාව සැබවින්ම උතුම් මංගල්‍යයකි. ළිඳත් සමඟ එසේත් නොවේ නම් ඇළ දොළ සමඟ ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රය නූතනය වන විට බැංකු සමග ගනුදෙනු කිරීම දක්වා වර්ධනය වී ගොසිනි. විවිධ වානිජ බැංකු අලුත් අවුරුද්දේ නැකතට ගනුදෙනු කිරීම වෙනුවෙන් කල්තියාම සැරසෙයි.

ඒ සඳහා විවිධ වූ වානිජ උපක‍්‍රම යොදමින් තෑගීබෝග පිරිනමමින් පාරිභෝගිකයන් හා ගනුදෙනු කිරීම වර්තමානයේ ඉතා බහුල ලෙස සිදුවන්නකි. අලුත් අවුරුද්දේ හා හා පුරා අවුරුද්ද බාර ගැනීමට සූදානමින් සිටින අපට ගනුදෙනු කිරීම මගින් ඉතිරි කිරීමට හුරුකරවීමද සුබ කටයුත්තකි.මානව ගුණධර්ම, සමාජ සාරධර්ම නැවත නැවත අලුත් කරන සිංහල අවුරුද්දේ ගනුදෙනුකිරීම ද සැබෑම උතුම් මංගල්‍යයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා