ප‍්‍රභාකරන්ගේ සිහින රාජ්‍යය

සෙන්පති උපක‍්‍රම හමුවේ බිඳ වැටුණු

ප‍්‍රභාකරන්ගේ සිහින රාජ්‍යය

යුද හමුදාපති සරත් ෆොන්සේකා

කොටි සංවිධානය දෙමළ ජනතාවගෙන් සමාව අයදින දිනයත් උදාවිය. ඒ යුද හමුදාව පුදුකුඩිඉරිප්පු කොටි අවසන් බළකොටුව අත්පත් කරගත් පසු කොටින්ට ඇති වූ දරුණු පරාජය සමඟය.

කොටි බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් එනම් කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ළඟම හිතවතා පෙරේදා යුද මුක්ත කලාපයේ රැඳී සිටින සිවිල් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේ ය. ඒ පුදුකුඩිඉරිප්පු අවසන් මහා බළකොටුව අහිමිවීමත් කොටින් යුද මුක්ත කලාපයට පමණක් සීමා වීමේ වේදනාවත්, ලජ්ජාවත් සමඟය.

මිලේච්ඡ කොටි නායකයකු අහිංසක දෙමළ වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටීමේ තත්ත්වයට පත් කෙළේ අපේ යුද හමුදාවයි. වසර එක හමාරකටත් අඩු කාලයක් තුළ උතුරේ මානුෂීය මෙහෙයුමෙන් කොටි ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ වර්ග කිලෝමීටර් පහළොස්දහසක භූමි ප‍්‍රදේශයකින් ඔවුන්ට ඉතිරිව තිබුණේ එක් වර්ග කිලෝමීටර්යක් පමණි. කොටි සංවිධානයේ නායකයා ඇතුළු සමස්ත කොටි සංවිධානයේ උපරිම බලය රැඳී තිබුනේ ද පුදුකුඩිඉරිප්පු ඉරණපලේ එම භූමිය තුළයි.

ප‍්‍රභාකරන් සතුව තිබූ භූගත මාලිගා හතරක් මීට පෙර අත්පත් කරගත්ත ද ඔහුගේ අවසන් භූගත බංකරය පිහිටා තිබුණේ පුදුකුඩිඉරිප්පු ඉරණපලේ ප‍්‍රදේශයේ ය. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ උදවිය ද රැඳී සිටියේ එම ප‍්‍රදේශයේයි.

විශ්වමඩු, සුගන්දරන්පුරම් ඇතුළු ප‍්‍රදේශ අත්පත් කරගනිමින් ඉදිරියට මෙහෙයුම් සිදුකළ බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 බළසේනාංකය මාර්තු ආරම්භයත් සමඟ ම පුදුකුඩිඉරිප්පු ඉලක්ක කරගත්තේය.

ඉන් අනතුරුව මාර්තු 3 වැනිදා වන විට පුදුකුඩිඉරිප්පු නගරය අත්පත්කරගත්තේය. මේ වන විට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වැනි බළසේනාංකයත් අට වැනි කාර්ය සාධක බළකායත් පුදුකුඩිඉරිප්පු මෙහෙයුමට සම්බන්ධ වෙමින් සිටියහ.

පුදුකුඩිඉරිප්පු නම් වූ කොටි ත‍්‍රස්තවාදි නායකයාගේ මොළය ලෙස සැලකෙන ප‍්‍රදේශයට යුද හමුදාවට ඇතුළුවීම වළක්වාලීම පිණිස කොටි ත‍්‍රස්තවාදීන් යුද හමුදාවට බරපතළ ලෙස ප‍්‍රහාර එල්ල කළහ. යුද මුක්ත කලාපයේ ස්ථාන ගත කර තිබූ බර අවිවලින් ප‍්‍රහාර එල්ල කළහ. එපමණක් නොව මරාගෙන මැරෙන ප‍්‍රහාර පවා එල්ල කළහ.

මේජර් ජෙනරාල්
ජගත් ඩයස්

යුදමුක්ත කලාපයට යුද හමුදාව ප‍්‍රහාර එල්ල නොකිරීමේ වාසිය ලබා ගනිමින් එහි සිට නොනවත්වාම දරුණු ප‍්‍රහාර එල්ල කිරීමට පටන්ගත් හ. එම ප‍්‍රහාර මධ්‍යයේ 58 සහ 53 ත් කාර්ය සාධක හමුදාවත් විශේෂ කොමාන්ඩෝ බළකායත් කොටි ප‍්‍රහාර මධ්‍යයේ උපක‍්‍රමිකව ඉරණපලෙයි ප‍්‍රදේශයට කොටි ත‍්‍රස්තවාදීන් කොටුකර ගනිමින් ඉදිරියට ඇදුණාහ.

කොටි සංවිධානයේ ප‍්‍රබලම නායකයන් ඇතුළු සමස්ත කොටි බලයම පුදුකුඩිඉරිප්පු අවසන් බළකොටුව රැක ගැනීමේ සටනට එක්වූහ. කොටින්ගේ චාල්ස් ඇත්තනී බළකාය සමඟ පාන්ඟියන් බළකාය මෙහි දී දරුණු ලෙස ප‍්‍රහාර එල්ල කළහ.

ඒ අතර පසුගිය මාර්තු 20 වැනිදා වන විට කොටින්ගේ ප‍්‍රධානම අවසන් මෙහෙයුම් මධ්‍යස්ථානය කොටි ප‍්‍රධාන බැංකුව ඇතුළු ප‍්‍රධාන මර්මස්ථාන ගණනාවක් ද ඒ 35 කොටි අවසන් සැපැයුම් මාර්ගය ද හමුදාව යටතට පත්විය.

පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශය කොටින්ගේ උපතයි. ප‍්‍රභාකරන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශය ඔවුන්ගේ අධි ආරක්ෂිත කලාපය ලෙස නම්කර තිබුණි. එම ප‍්‍රදේශයේ ඔවුන්ගේ වටිනාම සම්පත් ස්ථානගත කර තිබුණි. ඉහළ පෙළේ කොටිනායකයන්ට හැර වෙනත් කිසිවකුටත් එම ප‍්‍රදේශය තහනම් කලාපයක් විය.

වන්නි මෙහෙයුම ආරම්භක සැලැසුම සකස් වූයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ උපක‍්‍රම හා අදහස්වලට අනුවය. එම සැලැසුමේ ගොඩබිම් ප‍්‍රහාර තමාට ඕනෑම ආකාරයකින් සිදු කිරීමට සේනාධිනායක ජනාධිපතිතුමාගෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගෙන් යුධ හමුදාපතිවරයාට අවසර ලැබී තිබුණි.

මේජර් ජෙනරාල්
කමල් ගුණරත්න

යුද හමුදාපතිතුමා වසර හතලිහකට ආසන්න කාලයක් හමුදා ජිවිතය පිළිබඳ අප‍්‍රමාණ වූ අත්දැකීම් සම්භාරයක් ලැබූ දක්ෂ හමුදා නායකයෙකි. එතුමාගේ සේවා කාලයෙන් වැඩි ප‍්‍රමාණයක් ගෙවුණේ උතුරු නැෙඟනහිර කි‍්‍රයාන්විතවලය. ත‍්‍රස්තවාදය මෙරටින් සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීමට අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග මොනවාද? ඊට සකස් කළ යුතු සැලැසුම් මොනවාද? යන්න එතුමාගේ මනසෙහි සකස් වී තිබුණි. එතුමා යුද හමුදාපති ධූරයට පත්වනතෙක් එම සැලැසුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.

රටේ ජනතාවගේ වාසනාවට ජනාධිපතිවරයෙක් පත්විය. එතුමා සරත් ෆොන්සේකා නම් අභීත හමුදානායකයා යුද හමුදාපති ධූරයට පත්කෙළේය. එතැන් සිට මේ රටෙන් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් තුරන් කර දැමීමට ජනාධිපතිතුමාගේ අදහස කි‍්‍රයාත්මක කිරීමට හමුදාපතිතුමාට අවසරය ලැබුණි. ඒ අනුව නැෙඟනහිර ප‍්‍රදේශයෙන් ත‍්‍රස්තවාදයට තුරන් කෙරුණි.

අනතුරුව වන්නි මෙහෙයුම ආරම්භ විය. වන්නි මෙහෙයුම ආරම්භයේ සිටම කොටි ත‍්‍රස්තවාදීන් මංමුළා වන යුද උපක‍්‍රම සමස්ථ කොටි අඩෙවි පුරාම කි‍්‍රයාත්මක විය. දවසින් දවස කොටි බලකොටු සම්පත් යුදහමුදාව යටතට පත්විය. කොටි කණ්ඩායම් පලායන තත්ත්වයක් ඇතිවිණි.

මාර්තුමාසය ආරම්භ වනවිට කොටි ත‍්‍රස්තවාදීන් සතුව තිබුණේවර්ග කිලෝමීටර් 9 ක් පමණි. ඉන් සතිදෙකක් පසුවන විට එමප‍්‍රමාණය වර්ග කිලෝමීටර් හතර දක්වාත් පසුගිය සතිය වනවිට එය එක් වර්ග කිලෝමීටරය දක්වාත් අඩුවී තිබුණි.

 බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා

කොටි ත‍්‍රස්තවාදීන් එක් වර්ග කිලෝමීටරයක් දක්වා සිරකිරීමට හැකිවූයේ යුද හමුදාපතිතුමාගේ යුද උපක‍්‍රම ඔස්සේ බළසේනාංකාධිපතිවරුන් ප‍්‍රමුඛ සමස්ථ විරෝධාර රණවිරුවන් කි‍්‍රයා කිරීම නිසාය. උතුරේ ගහක් කොළයක් නෑර සෑම බිම් අඟලක් පිළිබඳවම මනා අවබෝධයක් තිබූ යුද හමුදාපතිතුමා දරුණු මෙහෙයුමක් සිදුවන දිනවල දිවා රාතී‍්‍ර නොබලා සටන් බිමවෙත දැඩි අවධානය යොමුකර සිටියේය.

එක් තත්ත්පරයක් විනාඩියක් පාසා එහි සිදුවන්නේ කුමක්ද ? යන්න එතුමාට දැන ගැනීමට අවශ්‍ය විය. එතුමා තවත් නිලධාරියෙක් හරහා යුද හමුදා බළසේනාංකාධිපතිවරු සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූයේ නැත. එතුමා සෘජුවම ඔවුන් සමඟ සම්බන්ධවෙමින් උපදෙස් දුන්නේය. හමුදාබලසේනාංක දැන් ඉදිරියට යා යුත්තේ කුමන දෙසකින්ද, වටකළ යුත්තේ කොතනින්ද?.

ඒ ඒ භට පිරිස් ස්ථානගත විය යුතු ආකාරය, එල්ලකළ ප‍්‍රහාරයන් ඉලක්කය ගන්නා ස්ථානය ආදී මේ සෑම කරුණක් පිළිබඳවම එතුමා උපදෙස් ලබා දුන්නේය. එතුමා කොතනක හෝ සිට උපදෙස් ලබා දුන්නද එම කර්තව්‍යයත් එතුමාම ගිනි අවියක් අත දරාගෙන මෙහෙයුමේ සිටීමත් අතර වෙනසක් තිබුණේ නැත.

තමා හඳුන්වාදුන් යුද උපක‍්‍රම සියයට සියයක් සාර්ථක වනු දැකීම, මඟින් ආරක්ෂක භට පිරිස් ජයග‍්‍රහණය කිරීම එතුමාගේ ජයග‍්‍රහණය විය. සතුටවිය. වසර එක හමාරකට ආසන්න කාලයක් වන්නි මෙහෙයුමේදී ලබා ගත් සුවිශේෂී ජයග‍්‍රහණවල රහස යුද හමුදාපතිතුමාගේ යුද උපක‍්‍රම බව වන්නි මෙහෙයුමේ යෙදී සිටින බළසේනාංකාධිපතිවරු ප‍්‍රමුඛ හමුදා රණවිරුවෝ පවසති. කොටි ත‍්‍රස්තවාදීහුද දනිති.

බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා

ලෝකයේ කිසිම දිනෙක කිසිවකුටත් කොටි සංවිධානය පරාජය කිරීමට හැකි වේයැයි සිතුවේ නැත. කොටි සංවිධානය දෙදරවා හැරීමට නොව ඔවුන්ගේ ශක්තියට තිත තැබීමටවත් හැකි හමුදාවක් ලෝකයේම ඇතැයි කිසිවකුත් විශ්වාස නොකළහ.

එහෙත් මේ පුංචි රටේ අපේ යුද හමුදාව ප‍්‍රමුඛ ති‍්‍රවිධ හමුදාව කොටි සංවිධානය දෙදරවා හැර ලොවක්ම විශ්මයට පත් කරවන ඒ භාරධූර වගකීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉෂ්ඨ කළහ. පුදුකුªඩුඉරිප්පුු හි අවසන් භූමි භාගයට කොටිනායකයන් කොටු වුණේ ද එතුමාගේ එම උපක‍්‍රම වල ප‍්‍රතිඵලය නිසාය.

පුදුකුඩිඉරිප්පු අවසන් බළකොටුව කොටි සංවිධානයට අහිමි වීමෙන් පසු කොටි නායක ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ ඉතිරිව ඇති නායකයන් කිහිපදෙනා දැන් කොටු වී සිටින්නේ යුද මුක්ත කලාපයේය. ඔවුන් සතු ඒ සියල්ල දැන් අහිමි වී අවසන්ය. ප‍්‍රභාකරන් ළගින්ම සිටි සංවිධානයේ බර ඉසිලු ප‍්‍රධානම නායකයන් පුුදුකුඩිඉරිප්පු අවසානයත් සමඟම හමුදා ප‍්‍රහාරවලට ලක්ව මිය ගියහ.

ප‍්‍රභාගේ වෙඩි නොවදින මොන්ටෙරෝ රථය

ගුවන් යානා නාශක අවිය

ප‍්‍රභාකරන්ගේ ආරක්ෂක බල ගණයේ ප‍්‍රධානියා වූ ගඩාෆි මියගියේ ඔහුගේ සෙසු ආරක්ෂකයන්ට බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදු වෙමිනි. වන්නි කොටි කාල තුවක්කු බළකායේ් නායක මනිවානන්, මරාගෙන මැරෙන කොටි කාන්තා බළකායේ නායිකා කමලනී කොටි කාන්තා සන්නද්ධ අංශ නායිකා මාලනී නැෙඟනහිර හිටපු කොටි සන්නද්ධ අංශනායක නාතේෂ් , වන්නි සන්නද්ධ අංශ නායක තීජන් දුර්ගා , රුබන් , විලුෂා, මහින්දන් , කම්ලන් ඇතුළු නායකයන් රැසක් පුදුකුඩිඉරිප්පු මෙහෙයුමේදී යුද හමුදා ප‍්‍රහාරවලට ලක් වී මිය ගියහ.

කොටි සංවිධානයේ ප‍්‍රබලම නායකයන් රැසක් එකවර මිය ගිය ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි. කොටිනායකයන් පෞද්ගලික ආරක්ෂක නායකයා පවා පුදුකුඩිඉරිප්පු මෙහෙයුමට පැමිණීමෙන් ම එම ප‍්‍රදේශය රැක ගැනීමට ඔවුන්ට තිබු අවශ්‍යතාව මොනතරම්ද යත් පැහැදිලිවෙයි.

කොටි සංවිධානය යම් ගැටුමකදී ඔවුන්ගේ සාමාජිකයන් මිය ගිය පසු ඔවුන්ගේ සිරුරු යුද හමුදාවට අත්පත් වීමට ඉඩ තබන්නේ නැත. එහෙත් කොටින්ගේ ප‍්‍රබලම නායකයන්ගේ සිරුරු ඇතුළු 420 දෙනකුගේ සිරුරු හැර දමා පලායාමෙන් කොටි නායකයන් දැන් පත් වී ඇති තත්ත්වය මොනතරම් දුර්වලදැයි සිතාගත හැකියි.

එපමණක් නොව පුදුකුඩිඉරිප්පු සටනට ඔවුන් ගෙන ආ නවීන අවි ආයුධ පවා අතහැර ගොස් තිබුණී. කරුණාගෙන් පසු නැෙඟනහිර පළාතට සන්නද්ධ අංශ නායකයා වශයෙන් එවා තිබු භානු වන්නි මෙහෙයුමේදී කොටි ප‍්‍රහාර මෙහෙයවීමට යොදා සිටි ප‍්‍රබලම සන්නද්ධ නායකයෙකි. ඔහු පුදුකුඩිඉරිප්පු ප‍්‍රහාරයේදී බරපතළ ලෙස තුවාල ලබා තිබුණි. ඇතැම් විට ඔහු මිය යා හැකි බවටද තොරතුරු ලැබී තිබුණි.

එපමණක් නොවේ ඒ අවසන් බළකොටුවේ බිද වැටීමත් සමගම කොටි සතු වූ සියලු සන්නිවේදන සම්බන්ධතා පවා ඇන හිට ගොස් තිබුණි. පොළව යට කන්ටේනරයක සිට ක‍්‍රියාත්මක කළ රේඩාර් මධ්‍යස්ථානය ප‍්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයන් ගත කළ කොටි භූගත නිවාසය යුද හමුදා ප‍්‍රහාර වලින් විනාශයට පත්විය.

ප‍්‍රභාකරන්ට විවිධ රාජ්‍ය සංවිධාන වලින් ලැබුණු වෙඩි නොවදින වාහන , ඇතුළු තවත් සියලු සම්පත් සියල්ල යුද හමුදාව මගින් සොයා ගැනිණ. එපමණක් නොව ඔහුගේ සහ පවුලේ සාමාජිකයන් ගේ පෞද්ගලික තොරතුරු සහිත බොහෝ ලියකියවිලිද යුද හමුදාව යටතට පත් වී තිබේ.

 කන්ටේනරයක ඉදිකළ සන්නිවේදන මධ්‍යස්ථානය

කොටි සංවිධානය සමඟ දැඩි සම්බන්ධ කම් පැවැත්වූ මෙරට සහ විදේශිකයන්ගේ ඡායාරූප ඇතුළත් විඩීයෝ පට කොටි නායකයන් සමග ඔවුන් ගත කළ ජීවිත , සතුටු සාද පැවැත්වූ අවස්ථා කතා බහ සහිත වීඩියෝ පට දකුණේ සිට උතුරට ගොස් කොටි අවි පුහුණුව ලැබූ සිංහල කොටි ඇතුළු බොහෝ දෙනකුගේ විස්තර ඇතුළත් වීඩියෝ පට විශාල ප‍්‍රමාණයක්ද යුද හමුදාව මගින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ආයුධ තොගය

යුද මුක්ත කලාපයට කොටු වී සිටින කොටි නායක ප‍්‍රභාකරන් ආරක්ෂා කර ගැනීමට දැන් ඉතිරිව සිටින්නේ පොට්ටු අම්මාන්, රමේෂ්, ධර්මන්, කමලන් තිලන් ඇතුළු කොටි නායකයන් කිහිප දෙනෙක් පමණි. පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශය යුද හමුදාව යටතට පත්වීමෙන් ආරංචිය ලැබීමත් සමගම යුද මුක්ත කලාපයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇති බව හෙළිවී තිබේ.

ඒ අවස්ථාවට අනුව එහි සිටින සිවිල් ජනතාව බුරුතු පිටින් දැන් ආරක්ෂක හමුදා වෙත පැමිණීමට පටන්

ගෙන තිබේ. පෙරේදා එම පස්වරුවෙ පමණක් දෙදහසකට වැඩි පිරිසක් පැමිණ සිටියහ. ඊයේ පෙරවරුවේ දහසක් පමණ පැමිණ සිටියහ. ඔවුන් සමග කොටි සාමාජිකයන්ද පැමිණෙන බව සිවිල් වැසියන් යුද හමුදාවට තොරතුරු දන්වා ඇත.

කෙසේ වුවද කොටි නායකයන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස එහි සිරකරගෙන සිටින පිරිසෙන් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් ඉදිරි දින දෙක තුන වන විට පැමිණෙනු ඇති බව යුද හමුදාවේ විශ්වාසය සමග කොටි විශාල ප‍්‍රමාණයක් මෙවර මිය ගියේ 1993 වැලිඔය සටනේදී කොටි දහසකට ආසන්න ප‍්‍රමාණයක් මිය යාමෙන් පසුවය. ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි නායකයන් මේ ප‍්‍රහාරයත් හානියත් සමග උන්මන්තක තත්ත්වයකට පත්ව ඇති බව එහි සිට එන සිවිල් වැසියෝ පවසති.

මේ සුවිශේෂී විජයග‍්‍රහණය ලබා ගත් බළසේනාංකාධිපතිවරු ඇතුළු විරෝදාර හමුදා භට පිරිස් ප‍්‍රකාශ කරන්නේ තව දින කිහිපයකදී සමස්ත යුද මුක්ත කලාපයේම කොටි ත‍්‍රස්තවාදය විනාශ කර අවසන් කළ හැකි බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා