බස්නාහිර පළාතේ එදා-මෙදා මැතිවරණ වගතුග

සංස්කරණය - ඉරෝෂිණී දීපිකා

බස්නාහිර පළාතේ එදා-මෙදා මැතිවරණ වගතුග

ලංකාවේ පරිපාලන ක්‍ෂෙත‍්‍රය පිවිසියේ 19 වැනි සියවසෙහි මුල් අවධියේ දී ය. බි‍්‍රතාන්‍ය මහ රජු නිකුත් කළ 1833 සැප්තැම්බර් 28 දින දරන රාජාඥාවෙන් ලංකාවේ නව ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයකට මුල පිරුණි.

1833 ඔක්තෝබර් පළමු වැනි දින ඩබ්ලිව්. ඇම්. ජී. කෝල්බෘක් සාමිගේ ප‍්‍රධානත්වයෙන් මන්ත‍්‍රණ සභාව රැස්විය. කෝල්බෘක් ක‍්‍රමය ස්ථාපිතවීමත් සමඟ, එතෙක් ලංකාවේ පැවැති රුහුණු, මායා, පිහිටි පළාත් අහෝසි විය. ඒ වෙනුවට නැඟෙනහිර, බස්නාහිර , උතුර, දකුණ, මධ්‍යම වශයෙන් පළාත් පහක් ස්ථාපිත විය. 1889 වන විට වයඹ , උතුරු මැද, ඌව, සබරගමුව පළාත් ද ස්ථාපිත කෙරිණි.

ඒ. ඊ. ගුණසිංහ

1833 - 1911 දක්වා එම මන්ත‍්‍රණ සභාව කි‍්‍රයාත්මක විය. 1910 නොවැම්බර් 24දා නිකුත් වූ නියෝගය මත මන්ති‍්‍ර මණ්ඩල නියෝජනය ද සංශෝධන විය. 1920 අගෝස්තු 13 වැනි දින නිකුත් කළ රාජාඥාවෙන් ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාව යළි සකස් කෙරිණි.

ඒ නිලලත් 14ක් සහ නිල නොලත් 23 ලෙස 37 දෙනෙකු වශයෙනි. බස්නාහිර පළාතට මන්තී‍්‍රන් 3ක්ද, අනෙක් පළාතට එක් මන්ති‍්‍රවරයෙකු බැගින් ද විශේෂ මන්තී‍්‍ර කොට්ඨාස 4ක් වෙනුවෙන් මන්තී‍්‍රවරු 5ක් ද උඩරට සිංහල 2, ඉන්දියානු 1 මුස්ලිම් 1 ජාතීන් නියෝජනය වූ අයගෙන් 2ක් ද වශයෙනි. ආණ්ඩුකාරයා නිල ලත් මන්තී‍්‍රන් 7ක් පත් කෙළේ ය.

1921 පැවැති විමසීමේදී ඡන්දදායකයෙකු වීමට ඉංගි‍්‍රසි දැනුම, භාෂා තුනෙන් ම ලිවීමට, කතා කිරීමට, කියවීමට හැකියාව. ස්ථිර ආදායම්, වසර 21ට වැඩි වීම යන සුදුසුකම් අත්‍යවශ්‍ය විය.

1924 අගෝස්තු 29 දා ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරියේ ය. නිල නොලත් මන්තී‍්‍රන් සඳහා මැතිවරණ කොට්ඨාස 28ක් නිර්දේශ කෙරිණි. නිල නොලත් 37, නිල ලත් 12 යනුවෙන්. සංශෝධනය විය. බස්නාහිර පළාත යුරෝපිය නාගරික හා ගම්බද, වෙළෙඳ, බර්ගර්, කොළඹ නගරය උතුර සහ දකුණ, කොළඹ, මීගමුව, කළුතර, දිස්ති‍්‍රක්කය, බස්නාහිර පළාත ( ලංකා දෙමළ) වශයෙන් නියෝජිතයන් පත් කිරීමට නියමිත විය.

බර්ගර් ජාතිකයෝ

යුරෝපීය නාගරික සහ යුරෝපිය ගම්බද ආසන සඳහා 1924 - 1931 දක්වා විවිධ නියෝජිතයෝ නිතරගයෙන් ම පත්වූහ. වෙළෙඳ ආසනයට ද බර්ගර් ජාතිකයෝ තරගයෙන් තොරව පත්වූහ. ආසන දෙකකින් යුත් බර්ගර් ආසනයට ජී. ඒ. එච්. විලේ, එන්. ජේ. මාර්ටින්, ඩී. ජේ. ඩී. බැවන් දේවගැති තුමා පරදවා පත් වූහ.

කොළඹ දිස්ති‍්‍රක් ආසනය සඳහා ඩී. බී. ජයතිලක නිතරගයෙන් පත්විය. මීගමුව ආදායම් දිස්ති‍්‍රක්කයට ඩී. ඇස්. සේනානායක නිතරගයෙන් පත්විය. කළුතර දිස්ති‍්‍රක්කයට තරගයක් පැවැත්විණි.

ආණ්ඩුක‍්‍රමයට එරෙහිව විවිධ නායකයෝ දෝෂරෝපණ එල්ල කළහ. ආණ්ඩුක‍්‍රමයේ සංශෝධනයක් සඳහා 1927 නොවැම්බර් 13 වැනිදා ඩොනමෝර් සාමිගේ ප‍්‍රධානත්වයෙන් සර්. මැතිව් නෙතන්, සර් ජොෂ්රි බට්ලර්, ආචාර්ය සී. ඩුමන්ෂිල්ස් නියෝජිතයෝ පැමිණියහ.

එස්. ඩබ්ලිවි. ආර්. ඩී. බණ්ඩාරනායක

ලංකාවාසී ජනතාවට සර්වජන ඡන්ද බලය දිය යයතු යැයි සෘජුවම ඉල්ලා සිටියේ ලංකා කම්කරු සංගමය මෙහෙයවූ ඒ. ඊ. ගුණසිංහ මහතා පමණි. 1919 දී පිහිටුවා ගත් ලංකා ජාතික සංගමය නම් දේශපාලන සංවිධානයක් ද තිබුණු බැව් අප වටහා ගත යුතුය. ශී‍්‍ර ලංකාවාසී වයස 21 ට වැඩි සියලු දෙනාටම සර්වජන ඡන්ද බලය ලබාදීමේ ගෞරවය ඩොනොමෝර් කොමිසමට හිමිවේ. කාන්තාවන්ට ඡන්ද බලය නොදිය යුතු යැයි ආණ්ඩු ක‍්‍රම සංශෝධන සඳහා ඝෝෂා කළ සමහරු තර්ක කළහ. එහෙත් එම අයිතිය කාන්තාවන්ට ද ලැබුණි.

රාජ්‍ය මන්ත‍්‍රණ සභාව මහ ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් වශයෙන් තිදෙනෙකුගෙන් ද, මැතිවරණ කොට්ඨාස අනුව මන්තී‍්‍රවරු 50ක්ද, ආණ්ඩුකාරයා විසින් පත් කරන ලද නියෝජිතයන් 8ක්ද වශයෙන් 61ක් විය. මැතිවරණ කොට්ඨාස පළාත් අනුව බස්නාහිර පළාතට ආසන 14ක් වෙන් කෙරිණි. ප‍්‍රථම මැතිවරණය 1931 ජුනි මාසයේදී පැවැත්විණි.

බස්නාහිර පළාතට අයත් ඡන්ද කොට්ඨාස මෙසේ ය.

උතුරු කොළඹ, මැද කොළඹ, දකුණු කොළඹ, මිනුවන්ගොඩ, මීගමුව, ගම්පහ , කැලණිය වේයන්ගොඩ අවිස්සාවේල්ල , මොරටුව, පාණදුර, කළුතර හොරණ, මතුගම වශයෙනි. වේයන්ගොඩ කොට්ඨාසයට ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාද, කැලණියට ඩී. බී. ජයතිලක මහතාද මිනුවන්ගොඩ ඩී. එස්. සේනානායක මහතාද නිතරගයෙන් පත්වූහ. අද මෙන් එදා දේශපාලන පක්‍ෂ නොතිබුණි.

ජාතික කොංග‍්‍රස් සභාව, ලංකා කම්කරු සංගමය, ලිබරල් සහ යුනියනිස්ට් සංවිධාන තිබුණ ද, ඔව්හු පුද්ගලයන් ලෙස මැතිවරණයට ඉදිරිපත් වූහ. ඡන්ද සලකුණු නැත. අපේක්‍ෂකයන් සඳහා පාට සහිත ඡන්ද පෙට්ටි තිබුණි. එතෙක් පැවැති සමාජ දේශපාලන පසුබිම 1932 පටන් වෙනත් දිසාවකට හරවන්නට එතෙරින් මෙතෙරට පැමිණි උගත් ලාංකික ශිෂ්‍යයෝ පියවර ගත්හ.

1936 දෙවැනි රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය පැවැත්වෙන විට වමේ ව්‍යාපාරයක් ඉතා පුළුල් ලෙස ව්‍යාප්තව තිබුණි. 1936 රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ දෙවැනි මැතිවරණය පැවැත්විණි. මිනුවන්ගොඩ - ඩී. එස්. සේනානායක , කැලණිය ඩී. බී. ජයතිලක, වේයන්ගොඩ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, කයිට්ස් ඩබ්ලිව්. දොරේසාමි, කුරුණෑගල - ජේ. එල්. කොතලාවල, අනුරාධපුරය එච්. ආර්. පි‍්‍රමන්, හලාවත ජී. ඩී. ඇස්. කොරෙයා නිතරගයෙන් පත්වූහ.

ඩී. ඇස්. සේනානායක

සිවු වසරක කාලයක් සඳහා පත් වූ දෙවැනි රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ නිල කාලය දෙවැනි ලෝක සංග‍්‍රාමය හේතු කර ගෙන වසර දෙකකින් දීර්ඝ කරන ලද්දේ ආණ්ඩුකාර ඇන්ඩු කෝල්ඩිකොට්ගේ නියෝගයක් මතය. යළිත් ලෝක සංග‍්‍රාමය අවසන් වනතුරු දීර්ඝ කෙරිණි. 1943 මැයි 26 වැනි දා ආණ්ඩුකාරවරයා රාජ්‍ය මන්ත‍්‍රණ සභාව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කෙළේ ය.

රාජාඥාවක්

ලංකාවේ අභ්‍යන්තර සහ මහජන කටයුතු පාලනය පිළිබඳ සම්පුර්ණ වගකීමෙන් යුත් ආණ්ඩු ක‍්‍රමයක් සඳහා රාජාඥාවක් නිකුත් කරන බව දන්වා සිටියේය. සෝල්බරි කොමිෂන් සභාව මෙහි පැමිණියේ ඒ රාජ්‍යඥාව ඉටු කිරීම උදෙසාය. දෙවැනි රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ අවසාන රැස්වීම 1947 ජුලි මස 1 දා වැනි පැවැත්විණි. රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ජුලි 4දා විසුරුවා හරින ලදී.

සෝල්බරි සාමිවරයාගේ සභාපතිත්වයෙන් හා ජේ. ඇෆ්. රීස්. එස්. ජේ. බරෝස් යන අයගේ සාමාජිකත්වයෙන් යුත් සෝල්බරි කොමිෂන් සභාව 1945 ජුලි මස 11 වැනි දා වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. පාර්ලිමේන්තුව නියෝජිත මන්ති‍්‍ර මණ්ඩලය සහ උත්තර මන්තී‍්‍ර මණ්ඩලය යන උභය මන්ති‍්‍ර මණ්ඩලවලින් සමන්විත විය. සභිකයන් 101 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට 95ක් දෙනෙක් මහජන ඡන්දයෙන් තෝරා ගත් අය විය යුතු බව නිර්දේශ කර තිබිණි.

ඒ අනුව බස්නාහිර පළාතට ආසන 20ක් වෙන් කෙරිණි. මැද කොළඹ බහු මන්තී‍්‍ර ආසනයක් ලෙස නම් කරන ලදී. ඒ ආසන මෙසේ ය.

උතුරු කොළඹ, මැද කොළඹ , (ආසන 03) දකුණු කොලඹ, වැල්ලවත්ත - ගල්කිස්ස , ජා-ඇළ, මීගමුව, මීරිගම, ගම්පහ, අත්තනගල්ල, කැලණිය, අවිස්සාවේල්ල , කෝට්ටේ, මොරටුව, හොරණ, පාණදුර, කළුතර මතුගම අගලවත්ත වශයෙනි.

1947, 1952, 1956 මහා මැතිවරණ පැවැත්වුණේ මේ ආසන සංඛ්‍යාව පදනම් කර ගනිමිණි. 1959 තල්ගොඩපිටිය මැතිවරණ නිර්ණ කොමිෂන් සභාවේ නිර්දේශයන් මත 1960 මාර්තු 19 දා පැවැති සිව්වැනි පාර්ලිමේන්තුවට බස්නාහිර පළාතේ මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 35 දක්වා වැඩි කෙරිණි. වැඩි වූ ආසන මෙසේය.

ඩී. බී. ජයතිලක

බොරැල්ල, වත්තල, කටාන, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මහර, දොම්පේ, කොළොන්නාව, දෙහිවල - ගල්කිස්ස, කැස්බෑව කොට්ටාව, හෝමාගම, බුලත්සිංහල, බණ්ඩාරගම, බේරුවල වශයෙනි.

1960 ජුනි, 1965, 1970 මහා මැතිවරණ පැවැත්වූයේ මේ ආසන පදනම් කර ගනිමිනි. වයස 18 ට වැඩි අයට ඡන්ද බලය හිමිවූයේ ද මේ මැතිවරණයෙනි. දකුණු කොළඹ බහු ආසනයක් විය. වැල්ලවත්ත - ගල්කිස්ස වෙනුවට දෙහිවල - ගල්කිස්ස නිර්දේශිත විය.

1974 අගෝස්තු 9 වැනි දින ශී‍්‍ර ලකා ජනාධිපති විසින් නොයෙල් නිත්තවැල්ල කමිටුවේ නිර්දේශ මත බස්නාහිර පළාතේ මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 39 දක්වා වැඩි කරන ලදී. දකුණු කොළඹ බහු ආසනය නැඟෙනහිර, බටහිර වශයෙන් වෙන් කෙරිණි. දෙහිවල - ගල්කිස්ස ආසනය, දෙහිවල සහ රත්මලාන යනුවෙන් වෙන් කෙරිණි. බියගම, කඩුවෙල, මහරගම, වශයෙන් නව ආසන වෙන් කෙරිණි. බේරුවල ආසන දෙකක බහු මන්ති‍්‍ර ආසනයක් විය.

1978 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කෙරිණි. සමානුපාතික ඡන්ද ක‍්‍රමය ද හඳුන්වා දුන්නේ ය. 1982 ජනාධිපතිවරණය ද ජනමත විචාරණයද 1988 ජනාධිපතිවරණය ද සමානුපාතික ඡන්ද ක‍්‍රමය මත පැවැත්විණි.

1989 පෙබරවාරි 15 දා සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ මහා මැතිවරණය පැවැත්විණි. බස්නාහිර පළාත, කොළ , ගම්පහ, කළුතර වශයෙන් දිස්ති‍්‍රක් ඡන්ද කොට්ඨාස තුනකට වෙන් කෙළේය. තෝරාපත් කර ගත යුතු මන්තී‍්‍ර සංඛ්‍යාව කොළඹට 20, ගම්පහ 18ක් සහ කළුතර 10ක් වශයෙනි.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ති‍්‍රක ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 1987 දී එකතු කරන ලද 13 වැනි සංශෝධනය මගින් මේවනවිට ශී‍්‍ර ලංකාවේ පළාත් සභා සංස්ථාපනය කර තිබුණි. 1988 පෙබරවාරි 5 වැනිදා ජනාධිපතිවරයාගේ අස්සනින් යුත් නියෝගය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද නියමයන් මත පළාත් සභා ස්ථාපිත කෙරිණි. බස්නාහිර පළාතේ පළාත් සභාවට නියෝජිතයන් 104 ක් පත් කිරීමට නිර්දේශ විය.

ඉන්දු-ලංකා ගිවිසුම

බස්නාහිර පළාතේ ප‍්‍රථම පළාත් සභා මැතිවරණය 1988 ජුනි 2දා පැවැත්විණි. 1987 අංක 23 දරන ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් ශී‍්‍ර.ල.නි.ප. හා ජ.වි.පෙ පළාත් සභා මැතිවරණයට අපේක්‍ෂකයන් ඉදිරිපත් නොකෙළේය. පැවැති භීෂණකාරී වාතාවරණය යටතේ එ.ජා. පක්‍ෂය බස්නාහිර පළාත් සභාව ජයග‍්‍රහණය කෙළේය.

1993, 1999 , 2006 වසරවලදී බස්නාහිර පළාතේ පළාත් සභා මැතිවරණ පැවැත්විණි. මේ ආකාරයට බස්නාහිර පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරු ලෙස සුසිල් මුණසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, මොරිස් රාජපක්‍ෂ, සුසිල් පෙ‍්‍ර්ම් ජයන්ත, රෙජිනෝල්ඩ් කුරේ යන අය මෙතෙක් පත් වූ මහ ඇමැතිවරු වෙති.

අතීතයට අදාළ තොරතුරු - මලල්ගොඩ බන්දුතිලක ලියු ශී‍්‍ර ලංකාවේ මැතිවරණ පුරාණය පොතෙනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා