නැණ ගුණවත් දරුවන් රටට බිහි කරන පානදුර සුමංගල විදුහල

නැණ ගුණවත් දරුවන් රටට බිහි කරන පානදුර සුමංගල විදුහල

රටක ජීවනාලිය බදු ළමා පරපුරේ අනාගතය හා රටක පැවැත්ම තීරණය කරනු ලබන ප‍්‍රධාන සාධකය අධ්‍යාපනය යි. වර්තමාන ගෝලීයකරණ ප‍්‍රවණතාවය තුළ පවතින දැනුම වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ දෙගුණයක් වන සමාජයක ජීවත්වන අප දරුවන්ගේ දැනුම හා තාක්ෂණික ඥානය ඒ හා සමාන්තර ලෙස වර්ධනය කරළීම අත්‍යවශ්‍ය කටයුත්තකි.

එහෙව් භාර දූර වගකීම පැවරෙනුයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතටයි. මෙවන් වූ වේගවත් සමාජයකට ඔබින දරු පරපුරක් ගොඩ නගා ගැනීමේ දී එම දරුවන්ට මඟ පෙන්වන අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාළ සියලු කාර්ය මණ්ඩලයන් දැනුමින් සන්නද්ධ විය යුතුයි.

නිර්මාණශීලී නායකත්ව හැකියාවන් හා දැනුමින් සපිරි ළමා පරපුරක් රටක සිටීම අනාගතයට සුබ ලකුණක් වන්නේ ය. ඉගෙනීම හෙවත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අද දවසේ වැය කරන කිසියම් හෝ මුදලක් අනාගතයට විශාල ආයෝජනයක් වන්නේ ය. වර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය දැයේ දූ පුතුන්ගේ අනාගතය වෙනුවෙන් දැවැන්ත වැඩ සටහන් රැසක් කි‍්‍රයාත්මක කර තිබෙනු දක්නට පුළුවන්.

පාසල් අධ්‍යාපනයට අමතරව දරුවන්ට විෂය බාහිර කි‍්‍රයාකාරකම්, පරිගණක දැනුම, කී‍්‍රඩා කුසලතාවයන් දියුණු කිරීම ආදිය සඳහා විශේෂ වැඩසටහන් කරගෙන යයි.

නාගරික ප‍්‍රදේශවල ජනපි‍්‍රය පාසල් වලට පමණක් නොව මේ සියලු පහසුකම් අද ඈත පිටිසර ගම්මාන වල කුඩා පාසල් වලට ද ලබා දී තිබේ. විශේෂයෙන් ම වර්තමාන රජය මගින් ආරම්භ කරන ලද නැණසල පරිගණක වැඩසටහන ඒ සඳහා කදිම උදාහරණ සපයයි. ඒ මඟින් පාසල් දරු දැරියන්ගේ පරිගණක ආශි‍්‍රත දැනුම වර්ධනය කර ගැනීමට හැකි වේ. නවීන තාක්ෂණයෙන් සපිරි අනාගත ලෝකයට පියමන් කරන අපට පරිගණක, තොරතුරු තාක්ෂණ දැනුම අනිවාර්යයෙන් ම තිබිය යුතුයි.

කළුතර දිස්ති‍්‍රක්කයේ ජනපි‍්‍රය පාසලක් ලෙස පාණදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලය නම් කිරීමට පුළුවනි. මේ විද්‍යාලය සුනාමි ව්‍යසනය ඇතිවීමට ප‍්‍රථම පැවැතියේ නල්ලූරුව ප‍්‍රදේශයේ යි. එහෙත් කිසිවකු කිසිවිටෙකත් නොසිතු මොහොතක ගොඩ බිම දෙසට ඇදී ආ සුනාමි ව්‍යසනයෙන් මේ විද්‍යාලයට බර හානි සිදු විය.

4500 ක් පමණ අකුරු කළ විද්‍යාලයට සිදු වූයේ කුමක් ද යන්න කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය. ඒ හේතුව නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා එල්ල විය. එම තත්ත්වයෙන් පසු පාසල් දරුවන් සේම ගුරුවරුන් ද මහත් අසීරුතාවන් ට ලක් වන්නට වූහ.

එහෙත් එයින් පසු සුනාමි ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ යටතේ රජයේ මඟ පෙන්වීම පරිදි දැන් පාණදුරේ හොරණ පාරේ වෑකඩ ට ගෙනවිත් තිබේ. අද වන විට පාණදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලය දිස්ති‍්‍රක්කයේ පිහිටි සියලු පහසුකම්වලින් සපිරි පාසලක් බවට පත්ව තිබේ. ශ‍්‍රවණාගාරයක්, පුස්තකාලයක්, විද්‍යාගාර ආදී සියලු පහසුකම් වලින් සපිරි මේ විද්‍යාලයට පිහිනුම් තටාකයක් ද ඉදිවෙමින් පවතී.

මෙම ස්ථානයේ මීට පෙර තිබී ඇත්තේ හමුදා කඳවුරකි. එහි ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කොට පාසල සඳහා යොදා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 400 කට අධිකය.

“ඒත් පාසලක් ඉදිකරනවා යනු සිර ගෙවල් සියයක් වසා දමනවා හා සමානයි” යනුවෙන් කියමනක් ඇත. අද වන විට පාණදුර සුමංගල විද්‍යාලය සියලු පහසුකම් වලින් සපිරි ලෙස සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කර ගෙන යයි’

පළමු ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලු විෂය ධාරාවන් ගෙන් සමන්විතව ඉගැන්වීම් කටයුතු කරන මෙම විද්‍යාලයේ ගුරුවරු සංඛ්‍යාව 200කට ආසන්නය. සුනාමි ව්‍යසනයෙන් හානි වූ වෙරළබඩ පාසල් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ විද්‍යාලය ප‍්‍රතිසංස්කරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ජපාන රජය ආධාර කර ඇත.

ප‍්‍රධාන ශාලාවේ රංගනයක යෙදෙන
සිසුන් පිරිසක්

පෙර පාසල් අධ්‍යාපනයෙන් පාසල් දිවිය ආරම්භ කරන ඕනෑම අයෙකුගේ ඉගෙනුම මෙතනින් අවසන් යැයි සීමාවක් නොමැත. විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගත්ත ද සමාජයට වැඩදායි පුද්ගලයකු ලෙස තම යුතුකම් කොටස ඉටු කිරීමට තව තවත් දැනුම ලබා ගත යුතුය. සැබැවින් ම එය සරල බසින් කියන්නේ නම් කෙනෙකු මිය යන තුරු ඉගෙන ගත යුතු දේවල් බොහෝ ය. තවද ඉගෙන ගන්නා දේ කාලයෙන් කාලයට නවීණ පන්නයට ගැළපිය යුතු වේ.

කළුතර දිස්ති‍්‍රක්කයේ සියලු පහසුකම්වලින් සපිරි ලෙස අද වන විට ප‍්‍රතිසංස්කරණය කර තිබෙන පාණදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලය රුපියල් මිලියන 400 ක් පමණ වැයකර එය සංවර්ධනය කර ඇති අතර අද වන විට පාසලේ පළමු වැනි වසරේ සිට 13 වසර දක්වා ඉගැන්වීම් කටයුතු සිදුවනු ඇත.

රටක අභිවෘද්ධිය හා එහි ශිෂ්ටාචාරයේ සාර්ථකත්වය වූ කලි එහි ජන සංඛ්‍යාව හෝ එහි ධන ප‍්‍රමාණය හා ව්‍යාප්තිය හෝ නොව එමඟින් බිහිවන ජනතාවගේ ගුණාත්මක භාවයයි.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලු නිරාකරණය කරමින් සංවර්ධනාත්මක ප‍්‍රවේශයක් ඔස්සේ ජාතික අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම ජය ගත යුතුව ඇති අභියෝගය කි. ඒ සඳහා නිශ්චිත ප‍්‍රතිපත්ති රාමුවක සිට සැලසුම් සහගත ලෙස කටයුතු කළ යුතු වේ.

නැණ ගුණ පිරි අනාගත පරපුරක් රටට දායාද කිරීමේ අරමුණින් සිසුන්ගේ නිපුණතා වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණික විෂයයන් යටතේ ද අද ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. ඒ සියලු අංශයන් පිළිබඳ මනා අවබෝධයක් සිසුනට ලබාදීමෙන් අපේක්ෂා කරන්නේ රටට වැඩදායි දරු පිරිසක් බිහි කිරීමයි.

විශේෂ ස්තුතිය – ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම් - කේ. පී. ජයන්ත මහනාම

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා