ජීවිතය ගැන ඉගෙන ගත්තෙ ගුවන් විදුලියෙන්

සංස්කරණය - ඉරෝෂිණී දීපිකා

ජීවිතය ගැන ඉගෙන ගත්තෙ ගුවන් විදුලියෙන්

- නිව්ටන් ගුණරත්න

සන්නිවේදකයකු යනු ජීවිතයේ අමරණීය සටහන්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තෙකි. පලපුරුදු මාධ්‍යවේදියකු සතුව සිහිවටන කිහිපයකට වඩා ගිනිය නොහැකි තරම් ප‍්‍රමාණයක් තිබෙන්නට පුළුවනි. එවන් වූ සන්නිවේදකයකු ලෙස නිව්ටන් ගුණරත්නයන්ව හැඳින්විය හැකි ය.

දෙස් - විදෙස් මාධ්‍ය අත්දැකීම් ලද ඔහු, ලාංකේය මාධ්‍ය කලාවට නවමු අත්දැකීම් එක් කළ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමියෙකි. කොතනින් පටන් ගෙන කොතැනින් අවසන් කළ යුතු දැයි සිතාගත නොහැකි තරමට වූ අප‍්‍රමාණ අත්දැකීම් ගොන්න අතරින් කිහිපයක් පිළිබඳ ඔහු සිය මතකය අවදි කෙළේ මෙසේ ය.

“එදා ශී‍්‍ර ලංකාව ම කම්පනයට පත් කළ දවසක්. 1974 දෙසැම්බර් 04 වැනිදා රිති‍්‍රයේදී ‘සප්ත කන්‍යා ‘ කඳු වැටියෙ ගුවන් යානයක් අනතුරට පත් වුණා. එහි සිටි මගීන් දෙසිය ගණනක් පමණ මේ හේතුව නිසා මරුමුවට පත් වුණා. මේ සිදුවීම මුළු ශී‍්‍ර ලංකාව ම දැඩි කම්පනයට පත් කළා.

මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැලී සිටි අපට මේ සිද්ධිය දැක බලාගෙන වාර්තා කිරීමට අවස්ථාව උදා වුණා. දෙස් - විදෙස් මාධ්‍යවේදීන් සමඟ කඳු මුදුනට ගොස් එම සංවේදී සිද්ධිය වාර්තා කිරීමට ලැබීම මගේ දිවියේ අමතක නොවන සිදුවීමක්. එදා එම ස්ථානයේ සිට සියලු ම තොරතුරු ශී‍්‍ර ලංකාවට දැනුම් දීමට ලැබීම සැබවින් ම අමුතු ම අත්දැකීමක් වුණා.

මගේ ජීවිතය විශාල වෙනසකට ලක් වුණේ 1973 - 1977 අතර කාලයේදී. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය විදිහට සැලකුවේ රිජ්වේ තිලකරත්න මහත්මයා ගේ කාලයයි. ඒ කාලෙ දී ගුවන් විදුලියේ වැඩ කළ එම පිරිවරේ ම තවත් සෙබළෙක් වීමට මට හැකි වුණා.

ගුවන් විදුලියේ වැඩ කරමින්, සතුට භුක්ති වින්ද ඒ කාලෙ, අපේ ජීවිතවලට ආලෝකයක් ලැබුණා කියලා මට හිතෙනවා. අපේ දිවියට බොහෝ අත්දැකීම් ඒකරාශි කර ගනිමින්, සන්නිවේදකයෙක් විදිහට මගෙන් විය යුතු යුතුකම් ඉටු කරමින් රැකියාව කිරීමට ලැබීම භාග්‍යයක්.”

ඕනෑම මිනිසකු ගේ ගමන් මඟ සුන්දර වන්නේ කම් කටොලු දුක්පීඩා බාධක පැමිණුන විට දී ය. එය ම ඔහු ගේ ජීවිතය යම් තාක් දුරට ඉහළට ඔසවා තැබුමට සමත් වනු ඇත. පැමිණෙන ගල් මුල් සියල්ල ආශිර්වාදයක් කරගෙන ජීවත් වීමට හැකි නම්, එය තම ජීවිතයේ ජයග‍්‍රහණයට මං පෙත් විවර කර ගැනීමක් ම විය හැකි ය.

නිව්ටන් ගුණරත්නයන්ට ද අක්‍රෝෂ පරිභව මෙන් ම ගල් මුල් ද ඕනෑවටත් වඩා ලැබුණි. ඒවා ආශිර්වාද ලෙස පිළිගත් ඔහු , තම ගමන අඛණ්ඩව ගියේ ය. යා හැකි මාවත, යා හැකි උපරිම දුර ඔහු ගියේ මේ සියලු අභියෝග පිරුවටයක් කර ගනිමින් ය.

“මං ආව ගමන දිහා දැන් ආපසු හැරීලා බලනකොට ඒක අතිශය දුෂ්කර වගේ ම, සුන්දර ගමනක්. අධිෂ්ඨානශීලී බව, උට්ඨාන වීර්ය සහ පසු නොබැසීමේ ගුණය මා සතුව පැවතියා. ඒ නිසා ම මට දුර ගමනක් යාමට හැකි වුණා.”

ඇගැයීමකට ලක් වූ මොහොතක්...

ඔහු සිනහ මුසු මුහුණින් යුතුව, හැඟීම්බරව පවසන මේ වදන්වල ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. සතුටකි. මේ රටට, සමාජයට තමාගෙන් විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට හැකි වූවා නම්, ඒ ගැන ආඩම්බර වීමට ඔහුට අයිතියක් ඇත.

රට වෙනුවෙන් කැපවීමක් කළා නම්, එහි පින් මහිමය ඔහුට නොඅඩුව ම ලැබෙනු ඇත. කැපිලි කෙටිලිවලින් ගහණ සමාජයේ, ඔහු එම බොරු වලවල්වල වැටුණා නම්, ඔහු ගේ මාධ්‍ය ගමන් මඟ අතර මඟ ඇණහිටින්නට ඉඩ තිබුණි. එනමුදු ඔහු ඉන් සලිත වූවේ නැත. ඒ නිසා ම සියලු බෙලි කැපීම් හමුවේ ඔහු මාධ්‍ය ලෝකයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් බවට පත් විය.

“1977 දී එජාප රජය බලයට පත්වුණාට පස්සෙ ගුවන් විදුලියෙ හිටිය අට දෙනෙක්ව අනිවාර්ය නිවාඩු යැව්වා. ඒ පිරිස අතරෙ එච්.එම්. ජයවර්ධන, පෙ‍්‍ර්මකීර්ති වගේ ම මාත් හිටියා. අපව යැවීමට හේතුව මොකක්ද කියන්න අප කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. අපෙන් වැරැද්දක් වුණා නම් ඒ පිළිබඳ විමසා බැලීමට පරීක්ෂණයක් තිබ්බෙත් නෑ. කොහොම කොහොම හරි වසරක් ගෙවිලා ගියා. අපව ආපහු රැකියාවට කැඳෙව්වා. ඒත් අප ඒ කාලයේ දී විවිධ වධ හිංසාවලට ලක් වුණා.

ටික කලකට පස්සෙ රජරට සේවයට මාරු කළා. නැවතත් මාසෙකින් විතර කොළඹ ප‍්‍රධාන කාර්යාලයට කැඳෙව්වා. ගුවන් විදුලියෙ දූෂණ සහ අක‍්‍රමිකතා පාර්ලිමේන්තුවේ දී මතු කිරීම පිළිබඳ සැකයක් ඇති වෙලා.

නැවතත් වැඩ තහනමකට ලක් වුණා. අවුරුදු දෙකක් ගත වුණා. අධිකරණ තීන්දුවක් යටතේ නැවත සේවයට පැමිණීමට අවස්ථාව ලැබුණා. සියලු වැටුප් සහිතව නැවතත් සේවයට පැමිණියා. 1984 වෙනකම් ම මේ වධ වේදනා වින්දා. 1984 දී පරිපාලනය වෙනස් වුණා. ඊට පස්සෙ අපට හොඳින් වැඩ කටයුතු කරන්න හැකියාව ලැබුණා. හොඳින් වැඩ කටයුතු කරගෙන යන අතරේ උසස් වීමකුත් හිමි වුණා. ඒ වැඩසටහන් කළමනාකාර විදිහට.”

ඒ ඔහු පැමිණි ගමන් මගේ එක්තරා සන්ධිස්ථානයක් පමණි. නොනිමි ජන මෙහෙවරක නිරත වන්නට ඉක්බිති ඔහුට ශඛ්‍යතාව ලැබුණි.

“එදා රටේ තිබුණු එක ම ගුවන් විදුලි මාධ්‍ය වුණේ රජයේ ගුවන් විදුලිය. මට ජීවිතය පිළිබඳ ලොකු ම පාඩම කියා දුන්නේ ගුවන් විදුලිය යැයි කිව්වොත් එය නිවැරැදියි. බොහෝ අත්දැකීම් වගේ ම ජීවිතාවබෝධයක් ලැබුණු කාල වකවානුවක් විදිහට ඒ යුගය හඳුන්වන්න පුළුවන්.

එහි දී ලද අත්දැකීම් සහ කටුක අවස්ථාවලට මුහුණ දී ලද අවබෝධය, මගේ ජීවිතය ගොඩනැගීමට බෙහෙවින් ඉවහල් වුණා. මොන උසස් තනතුරකට පත් වුණත් දුක සැප දරාගන්න පුළුවන් වුණා. අටලෝ දහමෙන් කම්පා නොවී ජීවත් වීමට ශක්තිය ලැබුණා. ඕනෑ ම දෙයකින් සැනසීම ලැබුමට එය ම පිටිවහලක් වුණ අවස්ථා තිබුණා.

මං පිළිගන්න එක දෙයක් තියෙනවා. ජීවිතය පුරා ම ජයග‍්‍රහණ ලැබූ අයත් නෑ. පරාජය වූ අයත් නෑ කියන දහම එයයි. ඒ නිසා අපට ඕනෑම දෙයකට නොබියව මුහුණ දීමට ශක්තිය ධෛර්ය තිබිය යුතුයි. ඒ ශක්තිය අප විසින් ම ගොඩනගා ගත යුතුයි.”

මේ සන්නිවේදකයාගේ ජීවන ගමන් මෙඟ් තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වූයේ 1997 දී ය. රූපවාහිනියේ මහ ගෙදර ලෙස හඳුන්වන ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති තනතුරට පත්වීම එම අවස්ථාව ලෙස හැඳින්වීමට පුළුවනි. ඔහු දෙවතාවක දී ම ස්වාධීන රූපවාහිනියේ මුල් පුටුවට පත් විය.

එහි දී ඔහු ග‍්‍රාහක , කලාකරු ඈ විවිධ තරාතිරම්වල පුද්ගලයන් හා එක්ව නිරන්තරයෙන් ම සමාජයට වැඩදායී කටයුතු කිරීමට පියවර ගත්තේ ය. ව්‍යාකූලත්වයට පත්වන සමාජයේ, ග‍්‍රාහකයන්ව විවිධ රැලිවලට හසු නොවී තබා ගැනීමට අවැසි පියවර ගැනීමේ දී ඔහු ගේ කි‍්‍රයාමාර්ග ඉදිරියෙන් ම පැවතිණි. ජාතික වැදගත්කමකින් යුතු සද්කාර්යයන්ට ඔහු දායක වූයේ එහි ඇති වටිනාක ම හොඳින් ම අවබෝධ කරගත් නිසා ය.

ඉතිරි කොටස ලබන සතියට

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා