‘93 අප දිනාගත් දකුණු පළාත් සභාවේ දිවුරුම් දීමටවත් ඉඩක් දුන්නේ නැහැ

අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන අය

‘93 අප දිනාගත් දකුණු පළාත් සභාවේ දිවුරුම් දීමටවත් ඉඩක් දුන්නේ නැහැ

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවේදී ජනපති කියයි

“අද මහා ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන කථා කරන උදවිය එදා අනූ තුනේදී අපි දිනාගත් දකුණු පළාත් සභාවේ වැඩ ආරම්භ කිරීමට දිවුරුම් දීමටවත් ඉඩක් ලබා දුන්නේ නැතැයි ජනාධිපති මහින්්ද රාජපක්ෂ මහතා සිහිපත් කෙළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයපතා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පෙරේදා (05) පැවැති විජයග්‍රාහී ජන රැලිය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා

ගාල්ලට ආවහම මට මතක් වෙනවා දොඩංගොඩ ඇමැතිතුමා සමඟ කරපු වැඩකටයුතු. අප ඉතාමත් ආදරය කරපු, ආදරය කරන නායකයෙක් තමයි දොඩංගොඩ මැතිතුමා කියන්නේ.

අපිට එදා ජයග්‍රහණය කරලා මේ පළාත් සභාවේ දිවුරුම් දෙන්න යන්න දුන්නේ නැහැ. පසුව අපට සිද්ධ වුණා පොලිස් බැරියර් කඩාගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් දිවුරුම් දෙන්න. දොඩංගොඩ ඇමැතිතුමා මහ ඇමැතිතුමා වශයෙන් දිවුරුම් දෙනවා කියලා ප්‍රකාශය කියෙව්වේ එදා මහින්ද රාජපක්ෂ.

එදා එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණවල ශක්තිය අපි දැක්කා. ඒ නිසා තමයි සහෝදරවරුනි අපි කියන්නේ අප අතර මොන තරම් ප්‍රශ්න තිබුණත් අපට තියෙනවා වගකීමක් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනගන්න .

ගාල්ල දිස්ත්‍රික්කයේත් වඩා ශක්තිමත් පළාත් සභාවක් ඇති කරන්න තමුන්නාන්සේලා පියවර ගනියි කියන විශ්වාසය අපට තියෙනවා. තමුන්නාන්සේලා අතර නොයෙක් මතවාද තියනවා.

දකුණු පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැති ජන රැලිය අමතන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. මෙම රැලියට සහභාගි වූ ජනතාවගෙන් කොටසක් ද මෙහි වෙති.

ඡායාරූප - කමල් ජයමාන්න

ඒ මතවලින් බැහැර වෙලා අප කළ යුත්තේ බුලත් කොළය ජයග්‍රහණය කරන එකයි. අපහාස කරලා මැතිවරණ ව්‍යාපාර කරන්න එපා. අප සියලුදෙනාගේ වගකීම බුලත් කොළය ජයග්‍රහණය කරවන එක.

අවුරුදු 30 ක් පුරා මේ රටේ තිබුණ ත්‍රස්තවාදය විනාශ කරලා දාන්න අපේ රණවිරුවන්ට පුළුවන් වුණා. අපේ රණවිරුවන් මේ රට නිදහස් කරගත්තා. මම පාසල් ගියේ ගාල්ලේ. දේශපාලනය කළේ ගාල්ලේ.

 මම මේ භූමියේ පය ගහලා ජීවත් වුණ කෙනෙක්. තමුන්නාන්සේලා එදා අපට ලබා ජන් ශක්තිය අපි ඉදිරියට ඇදගෙන ගියා. ඒ අතීතය අපට අමතක කරන්න බැහැ.

මේ ගාල්ල නගරයේ ජනතාවට කථා කරන්න මට අයිතියක් තියෙනවා. තමුන්නාන්සේලා අපි වෙනුවෙන් ලෝකයට ඒ පණිවිඩය ලබා දෙන්න.

අපේ මේ රට නිදහස් කරගත් වීරෝදාර රණවිරුවන්ව යුද අධිකරණයට ගෙනියන්න අද කණ්ඩායමක් සූදානම් වෙලා තියෙනවා. අපේ රණවිරුවන්ව සෙනෙට් සභාවට ගෙනියන්න හදනවා. මේවට සාක්ෂි සොයාගෙන තියෙන්නේ ආණ්ඩුවට එරෙහි පත්තරවල පළ වුණු ලිපිවලින්.

ඒවගේම එන්ජීඕ වල බොරු කාරයින් ගිහින් දීපු සාක්ෂිවලින්්. අපේ හමුදාවන් ස්ත්‍රී දූෂණය යුද උපක්‍රමයක් වශයෙන් සළකලා ජයග්‍රහණය ලබා ගන්න කටයුතු කළා කියලා චෝදනාවක් ඉදිරිපත් කළා.

නමුත් අමෙරිකා එක්සත්් ජනපදය පැහැදිලිව කියලා තියෙනවා එවැනි චෝදනාවක් පිළිබඳව ඔවුන් දන්නේ නැහැ. එවැනි වාර්තාවක් නැහැ කියලා. එය අප ලබාගත් ජයග්‍රහණයක්. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා.

වැරදුනාම හරිගස්සන්න. හරිගස්සගන්න එක වගකීමක් යුතුකමක්. ඒ නිසා සහෝදරවරුනි අපට තියනවා වගකීමක් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න. අපේ ජයග්‍රහණය ස්ථීරයි. තමුන්නාන්සේලාට වගකීමක් තියනවා පැහැදිළි ජයග්‍රහණයක් අපට ලබා දෙන්න.

අපි නිකන් හිටියේ නැහැ මේ කාලය ඇතුළත ජාතික සවිය හා ගම නැඟුම වැඩසටහන මගින් රුපියල් කෝටි 328ක් මේ ගාල්ල දිස්ත්‍රික්කයට ලබා දීලා තියෙනවා. මගේ යටතේ තියෙන එක අමාත්‍යාංශයකින් රුපියල් කෝටි 328ක් වියදම් කරලා තියෙනවා තමුන්නාන්සේලා වෙනුවෙන්.

අනෙක් අමාත්‍යාංශවලින් වියදම් කරපු ගණන් මම අහන්න යන්නේ නැහැ. මේ විදිහට ගාලු දිස්ත්‍රික්කය පුරාම අපි විශාල සංවර්ධනයක් ඇතිකරලා තියනවා. කොන්ක්‍රීට් පාරවල්, කාපට් පාරවල් තමුන්නාන්සේලාට ලැබිලා තියෙනවා. මේ තත්ත්වයට මේ රට ගෙනත් තියෙනවා.

අද අපේ තේ දළු ටිකට හොඳ මිලක් තියෙනවා. රබර් ටිකට හොඳ මිලක් ලැබෙනවා. මේ හැම ශක්තියක් තුළින්ම මේ රට ගොඩ නැගිලා තියෙනවා. අද මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය හොඳ මට්ටමකට ගෙන එන්න අපට පුළුවන් වෙලා, විදුලිය සියයට සියයක් ලබාදීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරන්න ඕන.

එහෙමනම් මේ ඉතිරි කටයුතු ටික කරන්න අපි සූදානම් වෙන්න ඕන. එහෙමනම් සහෝදරවරුනි, මේ අපේ යුතුකම හා වගකීම මේ රට වෙනුවෙන් ඉටු කිරීමට අපි සියලුදෙනා එක්විය යුතුයි.

අවුරුදු 30 ක් තිබුණ ත්‍රස්තවාදය අපට අමතක කරන්න බැහැ. ත්‍රස්තවාදීන් මේ ගාල්ල වරායට බෝම්බ ප්‍රහාර එල්ල කළා. මේ පළාතට ඇවිල්ලා අපේ ජනතාව මරා දැම්මා.

අවුරුදු 30 ක් තිබුණු යුද්ධයෙන් අපි රට නිදහස් කරගත්තා. අපි මතක තියාගත යුතුයි අද අපට පැවරිලා තියන වගකීම මොකක්ද කියලා. අපි වගකීමක් සහිත ආණ්ඩුවක්. ජනතාවට වගකියන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව පැහැදිළි ලෙස ශක්තිමත් කරන්න පුළුවන් මේ රටේ ජනතාවට.

තමුන්නාන්සේලා බුලත් කොළය ශක්තිමත් කරන්න අප හා එක්වන්න. එය ඔබ සියලුදෙනාගේ වගකීමක්.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති පියසේන ගමගේ මහතා - මෑත ඉතිහාසයේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයට ආ අති විශාල ජන සේනාවයි අද මේ ඉන්නේ්. මේ මහා ජනගඟ අමතා ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කථා කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා.

මේ රටේ දියුණුවට අති විශාල කැපකිරීමක්, සේවාවක් අපේ ජනාධිපතිතුමා කළා. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමැතිවරයෙකු, විපක්ෂ නායකයා, අගමැතිවරයා අද අතිගරු ජනාධිපතිතුමා ලෙස විශාල සේවාවක් ඉටු කරනවා.

අපේ දිස්ත්‍රික්කයේ ජනතාව ඔබතුමා ඉටු කරන සේවයට කෘතගුණ සැලකීමට පෙළගැසී අවසන්. මැතිවරණය එනතුරු දින ගනිමින් ඉන්නේ. අපි ගාල්ලෙන් සීයයට 80කට වඩා ඉහළින් බුලත් කොළයට ලබා දෙනවා.

ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා - ලංකා මැතිවරණ ඉතිහාස වංශ කථාවේ සදානුස්මරණීය ලෙස සටහන් තැබූ මැතිවරණ තීන්දු ගන්නා පුරවරයක් තමයි දක්ෂිණ ලංකාව. රුහුණු පුරවරය.

අපි ඒ ගැන අමුතුවෙන් ජනාධිපතිතුමාට කියන්න උවමනා නෑ. දකුණේ ජනතාව ගන්නා දේශපාලන තීන්දුව තමයි මුළු රටේම ජනතාවට පෙර ම¼ඟ කියා දෙන්නේ. එදා 1993 දී දකුණේ ජනතාව නිවැරදි දේශපාලන තීන්දුවක් ගත්තා. ඊට පස්සේ මුළු රටම වමට, ප්‍රගතිශීලී කඳවුරට ලැබුණා.

දකුණේ අපි ඉතා බුද්ධිමත් ජනතාවක්. අපි අපේ පළාත් සභා ඉතිහාසයේ ලද අතිවිශිෂ්ඨතම ජය මෙදා ලබනවා. ඒක පායන හිරු මෙන් විශ්වාසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා - ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ රට ඉතිහාසයේ පෙර කවර කවමදාකවත් නොතිබූ සංවර්ධන ගමනක් යෑමට පටන් අරන්. මෙහෙම තව අවුරුදු පහක් ඉදිරියට ගියොත් අපි ආසියාවේ ප්‍රබලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ බය නිසා බටහිර රටවල් අපිට අකුල් හෙළනවා.

කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කළා. ආරක්ෂක හමුදාව අතිවිශාල කැපකිරීමක් ඒ සඳහා කළා. මේවායේ ජය පිට ජය අපිට ලැබෙද්දී බටහිර රටවල් විවිධ අවලාද, අපහාස, අපේ රටට කරනවා.

අපිට බාධා ගෙනඒමට උත්සාහ කරනවා. ඔවුන් එසේ කරන්නේ ඇයි? ඒකට හේතුව බොහෝම පැහැදිලියි. ජනාධිපතිතුමා තමයි බටහිර රටවල් කියන කියන පදයට නැටුවේ නැති එකම නායකයා. එතුමා මේ රටේ ජනතාවගේ හදගැස්ම හැඳිනගෙන, ජාතිමාමක බලවේගවලට අනුව කටයුතු කළා.

ඇත්තටම අපේ ජනාධිපතිතුමා, බටහිර රටවල් කියන කියන පදයට නැටුවේ නැහැ. එතුමාගේ පදයටයි අද බටහිර රටවලට නටන්න වෙලා තිබෙන්නේ. ඒකයි අපිට මේ අරියාදු එල්ල කරන්නේ. එදා මිලීබෑන්ඩ්ලා, ඩබල් දාලා මෙහේ ආවා. ත්‍රිබල්දාලා එන්න ඉඳලා ස්වීඩනයේ හාදයා හැරිලා ගියා.

මිලිබෑන්ඩ්ලා එනකොට ජනාධිපතිතුමා හිටියේ ඇඹිලිපිටියේ. මිලිබෑන්ඩ්ලා ඇඹිලිපිටිය ගිහින් ගහක් යටදී ජනාධිපතිතුමා හමුවුණා. එදා එහෙම නොමෙයි සිද්ධවුණේ. බටහිර රටවල් පුප්පනකොට සුළු දිය යන ජනාධිපතිවරු හිටියේ.

මේ නායකයා තමන්ගේ පදයට නටවන්න බැරි බව බටහිර රටවල් තේරුම්ගත යුතුයි. අද මුළු රටේම මහා විශාල පිබිදීමක් ඇති වෙලා. ලෝකයේ හොඳම කොටස් වෙළෙඳපොළ බවට අපේ කොළඹ කොටස් වෙළෙඳපොළ පත්වෙලා.

නව ආයෝජකයෝ එනවා. ගිය අවුරුද්දේ අගෝස්තුවලට වඩා මේ අවුරුද්දේ අගෝස්තු වෙනකොට මෙහි ආ සංචාරකයෝ සියයට 34 කින් වැඩිවෙලා. ලබන ජනවාරි මාසයේදී නැවත ජනාධිපතිවරණයක් එනවා.

ඒකට යූ.එන්.පීයෙන් එන්නේ පොදු අපේක්ෂකයා කියලා චව් චව් වික්‍රමසිංහමයි. එයා අතවැනුවොත් ජනාධිපතිතුමා සියයට 75 ක් ගන්නවා. අතවනලා කථා කළොත් ජනාධිපතිතුමා සියයට 80ක් ගන්නවා.

අධ්‍යාපන ඇමැති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා - අපේ රටේ ත්‍රස්තවාදය අවසාන කරලා පවත්වන දෙවැනි පළාත් සභා මැතිවරණයයි දකුණ. අපි ඌව දිනුවේ සියයට 72 කින්. දකුණ සියයට 80 කට වඩා දිනාගන්නවා. අපි මෙදා දකුණු පළාත් සභාව වැඩි ඡන්ද ලක්ෂ පහකින් දිනනවා.

අපිට ලැබී තිබෙන සමීක්ෂණ වාර්තා සියල්ල ඒ බව තහවුරු කර තිබෙනවා. අද සමහර දේශපාලන නායකයෝ දකුණේ සංවර්ධනය පෙනි පෙනි අහනවා කෝ දකුණේ සංවර්ධනය කියා. අද බස්නාහිර පළාතටත් වඩා දකුණ සංවර්ධනය වෙලා.

මෙහේ පාරවල් තාර දාන්න නොවෙයි ජනතාව ඉල්ලන්නේ කාපට් කරන්නයි. අද වවුනියාවේ සෙට්ටිකුලමේ තිබෙන්නේ අවතැන්වූවන්ගේ කඳවුරු නොවෙයි. ඒවා සුභසාධන ගම්මාන.

එම ගම්මානවල ළමයි පාසල් යනවා. විභාගයට ලියනවා. සෙල්ලම් කරනවා. වෘත්තීය පුහුණුව ලබනවා. එහේ බැංකු, සමූපකාර, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තිබෙනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විතරක් රුපියල් මිලියන 130 ක පෙළපොත් යැව්වා. මහා විනාශකාරී යුද්ධයක් තිබියදීත් සංවර්ධනය නතර කෙළේ නෑ. සහනාධාර කප්පාදු කෙළේ නෑ.

සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ කටයුතු ඇමැති සහ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා - අපේ අතිගරු ජනාධිපතිතුමා අමෙරිකාවේ ජනාධිපතිවරුන් වූ ජෝර්ජ් බුෂ් මහත්තයාට ඔබාමාට ඒ වාගේම එංගලන්තේ ටෝනි බ්ලෙයාර් අගමැතිතුමාට කරන්න බැරි වූ දේ කළ කෙනෙක්. බටහිර බලවතුන්ට ත්‍රස්තවාදය පරාජයට පත් කරන්න බැරි වුණා.

 අපේ ජනාධිපතිතුමා ඒ දේ කළා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ‘දේශපේ‍්‍රමියා’ ‘දේශද්‍රෝහියා’ ගැන අර්ථ නිරූපණ ලබා දෙමින් යනවා. කොටි සමග සටන් විරාම ගහලා අපගේ ආරක්ෂක හමුදාවත් බුද්ධි අංශයේ පිරිසුත් ඉතා නින්දිත ලෙස කොටි අතින් ඝාතනය වීමට ඉඩ සැලසුව කෙනා ලබා දෙන දේශප්‍රේමීත්වය මොකක්ද ? ඒවා මොන අර්ථ නිරූපණ ද ?

තමුන්නාන්සේලා පමණක් නොව ඉපදෙන්නට ඉන්න අපි සියලු දෙනාට යහපත් රටක් බිහි කිරීමටයි ජනාධිපතිතුමා කටයුතු කෙළේ. රනිල්ලා මොන දේශප්‍රේමියෝද ? කියා මම අහනවා.

සමනල ක්‍රීඩාංගණයට ආ වැඩිම පිරිස අදයි මම දැක්කේ. මේ මහ ජන ගඟ දැක්ක විට මට පුදුම සතුටක් දැනෙන්නේ. මේ පළාත් සභා මැතිවරණයේදී අපි ලබන්නේ අති විශිෂ්ට ජයක්. ඒ බව පැහැදිලියි.

විද්‍යා හා තාක්‍ෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා - දකුණේ ජනතාවට ඉදිරියේ ලබන 10 වැනිදාට මහා ඓතිහාසික කාර්යභාරයක් පැටැවෙනවා. නැගෙනහිර පළාත් සභාවෙන් ඇරඹි පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ රැල්ල එකකට එකක් නොදෙවෙනි ලෙස ජය පිට ජය ලබමින් සන්ධානය ජයග්‍රහණය කළා.

ඒ රැල්ල වඩාත්ම ඉහළට පැමිණි අවස්ථාවක් දැන් උදා වී තිබෙන්නේ්. අපේ රටේ ජාතික ප්‍රශ්න වලට අපේම වූ විසඳුම් යෝජනාවලියක් අපි කෙටුම්පත් කළා. දේශපාලන පක්ෂ 13 ක අදහස් ඊට එකතු වුණා. අතිගරු ජනාධිපතිතුමාගේ අදහසුත් අරගෙන අපි එය රටට ඉදිරිපත් කරනවා.

පාරිසරික සහ ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා - රුහුණේ ජනතාව වගකීම් දෙකක් ඉටු කරන්න ඕනෑ මොහොතක්. මේ රටේ මානව හිමිකම් කැඩෙනවා. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියා අද ජාත්‍යන්තරයේ අපිට විරුද්ධව ලොකු මතයක් ප්‍රචාරයක් ගෙනි යනවා.

අපේ රටේ එසේ වන්නේ නෑ කියා ලෝකයාටම කියන්න පුළුවන් කම අද තමුන්නාන්සේලාට ලැබී තිබෙනවා. ඒ බුලත් කොළය දිනවීමයි. එයින් අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අනුමත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට හොඳ උත්තරයක් ලබා දෙන්න.

දෙවැනි වගකීම තමුන්නාන්සේලා රනිල් වික්‍රමසිංහලාගේ, රවි කරුණානායකලාගේ, මංගලගේ, වජිර අබේවර්ධනලාගේ රටට වින කරන වැඩපිළිවෙළ පරාජයට පත් කරන්න ඕනෑ.

එදා 2005 ජනාධිපතිවරණයේදී රනිල් හාල්මැස්සෝ කිරි පිටි ගැන කථා කරද්දී බඩ ගැන කථා කරද්දී ඒවා ගැන නොසිතා රට නිදහස් කර ගැනීම සිතා කටයුතු කළ තමුන්නාන්සේලා මෙදා වඩාත් නිවැරදි දේශපාලන තීන්දුවක් ගන්නා බව විශ්වාසයි.

මේ රට මහා ඓතිහාසික වටිනාකම් වලින් පිරි රටක්. එදා රුහුණේ මාතරින් දුටුගැමුණු, හක්මනින් මහා විජයබාහු වානි නරපතීන් බිහි වූ දේශයක්. රුහුණු දේශයේ අතීත ශ්‍රී විභූතිය නැවත ළඟා කර ගත හැකි යුගයක් අද උදා වෙලා.

උතුරු මැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අද දකුණේ මැතිවරණය අතිවිශිෂ්ඨ ලෙස අපි ජයග්‍රහණය කරන මැතිවරණයක් බවට පත් වී හමාරයි. අද තිබෙන්නේ මැතිවරණ ජයගැනීම පිළිබඳ තරඟයක් නොවෙයි. ඒ ගැන බුලත් කොළයේ අපිට තරගයක් නෑ. අද තිබෙන්නේ බුලත් කොළයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීමේ සටනක්. තරඟයක්.

මෙදා ගාල්ලෙන් බුලත් කොළයට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බව අපිට ;පනෙනවා. මේ අතිවිශාල ජනතාව ඒ බව අපිට කියනවා. අද සෑම ආසනයකින් ම දහස් ගණනින් එක්සත් ජාතික පාක්ෂිකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ අය අපි සමඟ එකතු වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ දවස්වල සිහි කල්පනාව මදි වාගේ. එතුමාට හරියට මැතිවරණ දින අමතකයි. ඌවේ ඡන්දය තිබ්බේ අගෝස්තු 08 වැනිදා. එතුමා කිව්වා 18 වැනිදා ගිහින් අලියාට ඡන්දය දෙන්න කියලා.

දැන් හම්බන්තොට ඇවිත් මොනවාද කියන්නේ. මෙහේ ඡන්දය තිබෙන්නේ ලබන 10 වැනිදා එයා කියනවා 18 වැනිදා උදේන් ම ගිහින් ඡන්දය දෙන්න කියලා.

මේවාගේ සිහි කල්පනාව නැති කෙනෙකුට මේ රට ගොඩනගන්න පුළුවන් ද? රට සංවර්ධනය කරා ගෙනියන්න පුළුවන් ද? ආර්ථිකය හදන්න පුළුවන් ද?

අද දකුණේ ජනතා විමුක්ති පෙරමුණ දියවෙලා ඉවරයි. දකුණ අලුත් කරමු කියලා පොල් ගෙඩි අකුරින් බෝඩ් ගහලා කාර්යාලදාලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණ තමයි, මේ රටේ ජාතික සම්පත් කෝටි ප්‍රකෝටි ගණනක් ජාතියට අහිමි කෙළේ. එදා මේ රටේ බස්ටික ගිනි තිබ්බා.

කෝච්චියට ගිනි තිබ්බා. ට්‍රාන්ෆෝමර් කැඩුවා. කර්මාන්ත ශාලා වැහැව්වා. වී ගබඩා ගිනි තිබ්බා. මිනිස්සු මැරුවා, හැඳුනුම්පත් එකතු කළා. කුප්පිලාම්පුවෙන් එළිය ගන්න කිව්වා. ඡන්දය දුන්නා කියලා මැරුවා. අතපය කැපුවා. ඒවාගේ වැඩ කරපු අය දැන් රට අලුත් කරන්න කථා කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා - ත්‍රස්තවාදය පරාජයට පත් කළා. අපේ ආරක්‍ෂක හමුදාවන්ට නිසි, නිවැරදි, නිර්භීත අණ දුන්නේ, නියෝග දුන්නේ අතිගරු ජනාධිපතිතුමායි.

මේ මානුෂීය මෙහෙයුම් නතර කරන්න අපිට ලෝකයේ බලවතුන් බලපෑම් කළා. දේශීය බලපෑම් ආවා. ජනාධිපතිතුමා ඒවා සියල්ල පරාජයට පත් කරමින් රටට නිදහස ලබා දුන්නා.

අද අපේ රට අලුත් සංවර්ධන ගමනක් යෑමට මුලපුරා තිබෙනවා. මේ සංවර්ධන ගමන වඩාත් සාර්ථක වීමට දකුණේ ජනතාවගේ සහාය රජයට අවශ්‍යයි.

පළාත් සභාවේ බලය අපට අවශ්‍යයි. අන්න ඒ අවශ්‍යතාවය වඩාත් හොඳින් තේරුම් ගත් දකුණේ් බුද්ධිමත් ජනතාව සන්ධානයට, බුලත් කොළයට දැවැන්ත ජයග්‍රහණයක් දකුණෙන් ලබා දෙන බව විශ්වාසයි.

ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ ඇමැති රිෂාක් බදියුදීන් මහතා - මීට අවුරුදු 4 කට ඉස්සර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කිසිම පුද්ගලයෙකුට නිදහසේ තමන් කැමති ගමනක්, බිමනක් යෑමට ඉඩක් තිබුණේ නෑ.

කොටි ත්‍රස්තවාදීන් කොයි අවස්ථාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයිද? බයේ කවුරුත් ජීවත්වුණේ. ත්‍රස්තවාදීන් අපේ රට භීතියට පත් කොට තිබුණා. රටේ සාමකාමීත්වයක් නෑ. ආයෝජකයෝ එන්නේ නෑ.

නමුත් ජනාධිපතිතුමා බලයට පත්වෙලා අවුරුදු තුනයි මාස හයෙන් කොටි ත්‍රස්තවාදය නැති කළා. මානුෂීය මෙහෙයුම් ආරම්භ කළා. ඒවා එකින් එක දිනෙන් දින ජයග්‍රහණය කරා ගියා. අද රට නිදහස්. සාමකාමීයි. ආරක්‍ෂා සහිතයි. ඕනෑම අයෙකුට දෙවුන්දරතුඩුවේ ඉඳලා පේදුරුතුඩුවට යන්න පුළුවන්.

සමාජ සේවා ඇමැති හා ගාල්ල දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලයනල් ප්‍රේමසිරි මහතා - අද දකුණු පළාත් සභාවට විශේෂ දවසක්. විශේෂයෙන් ගාල්ලේ ජනතාවට විශේෂ දවසක්. ජනාධිපතිතුමා මෙහි ආවා. එතුමා අපේ රට කැඩෙන්නට නොදී බේරාගත්ත අභීත නායකයායි.

අපි, අපේ රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් අභීත නායකයාට කළගුණ සැලකිය යුතු අවස්ථාවකයි මේ මහා විජයග්‍රාහී ජනරැලිය පවත්වන්නේ. දකුණු පළාත් සභාවේ බලය ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ යුතුයි. ඒ හරහා ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුයි.

මෙදා පළාත් සභා මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය බුලත් කොළයට ලබා දෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බව කියන්න සතුටුයි. මෙම අති සාර්ථක ජනරැලිය අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයෝ ද පැමිණ ආශීර්වාද කළහ.

ඇමැතිවරුන් වන හේමකුමාර නානායක්කාර, නිර්මල කොතලාවල, ගාමිණි ලොකුගේ, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් ආණ්ඩුකාරවරුන් වන අල්හාජ් අලවි මව්ලානා, කුමාරි බාලසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා