කොටස් වෙළෙඳ පොළ මිල බිලියන 1000ට නගී

කොටස් වෙළෙඳ පොළ මිල බිලියන 1000ට නගී

යුද්ධය නිමවීමෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තාගත අගයක්

රටේ පවතින සාමකාමී වතාවරණය සමඟ පොලී අනුපාතය අඩුවීම, උද්ධමනය ශීඝ්‍රයෙන් පහත බැසීම යන සාධක කොළඹ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකමේ ඉහළ අගයක් වාර්තා කිරීමට හේතුව බව සඳහන් කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල් මිලියන 1000 ක (ට්‍රිලියන 1 ක) වර්ධනයක් පෙන්නුම් කැර තිබේ.

රටේ පවතින සාමකාමී වාතාවරණයත් පොළී අනුපාතයන් පහත හෙළීමත් සමඟ උද්ධමනය ශීඝ්‍රයෙන් පහත වැටීම මේ තත්ත්වයට හේතු වී තිබේ. පෙරේදා (05) වන විට කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල් බිලියන 994.5 ක් ලෙස වාර්තා වී ඇති අතර ඊයේ (06) වන විට එහි වර්ධනය සියයට 109.88 ක් විය.

කිසියම් රටක කොටස් වෙළෙඳපොළ මේ අයුරින් ඉහළ අගයක් ගැනීම යනු රටේ සංවර්ධනය පිළිබඳ ඉතා හොඳ සංඥාවක් බව අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කෙළේය.

වාර්තාගත ලෙස කොටස් වෙළෙඳපොළ අගය ඉහළ යාම හේතුවෙන් එම කාර්ය මණ්ඩලය දිරිගැන්වීම හා ඔවුන් වෙත සුබපැතුම් එක් කිරීම සඳහා කොළඹ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණි මොහොතේ අගමැතිවරයා මේ බව පැවැසීය.

දශක තුනක කාලයක් අඩපණව පැවැති මේ රටේ ඉදිරි ගමන සඳහා කොටස් වෙළෙඳපොළ විශාල වර්ධනයක් ලබාදී තිබෙන බවත් මේ තත්ත්වය ළඟා කැර ගැනීම සඳහා කැපවීමෙන් සේවය කළ සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ සභාපති උදය ශ්‍රී කාරියවසම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට තම ප්‍රණාමය පිරිනමන බවත් රත්නසිරි වික්‍රමනායක මහතා පැවැසීය.

පෙරේදා (5) වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 3098.2ක් ලෙස වාර්තා වි ඇති අතර කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙවැන්නක් සිදු වු පළමු අවස්ථාවයි.

එල්.ටී.ටී. ඊ ත්‍රස්තවාදීන් සමග දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද්ධය අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය අගය රුපියල් බිලියන 448 ක්ව පැවැති අතර ලෝකයේ ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳව තිබෙන ඉහළ විශ්වාසය මත මේ වර්ධනය පෙන්නුම් කැර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම ඉහළට ගොස් උද්ධමනය සියයට 01 දක්වා පහත බැසීමත් බැංකු ණය පොළී අනුපාතය සියයට 10 දක්වා පහත හෙළීමත් මේ වර්ධනයට හේතු වී තිබේ.

නිදහස් හා සාමකාමී වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීමත් සමග අද වන විට ලෝකයේ බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර ශ්‍රී ලංකා රජය ඒ සඳහා අවශ්‍ය කෙරෙන යටිතල පහසුකම් සියල්ල සපයා දී තිබේ.

බ්ලුම්බර්ග් දත්ත අනුව මේ වසර තුළ ලොව දෙවැනි ස්ථානයට වර්ධනය වූ කොටස් වෙළෙඳ පොළ බවට කොළඹ කොටස් වෙළෙඳ පොළ පත්ව ඇති අතර පීරු රාජ්‍යයේ කොටස් වෙළෙඳ පොළ පෙරමුණ ගෙන සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා