අතිරේක මහේස්ත්‍රාත් නිවෙසේ ලක්ෂ 3ක රන් බඩු සොරකමක්

අතිරේක මහේස්ත්‍රාත් නිවෙසේ ලක්ෂ 3ක රන් බඩු සොරකමක්

අනිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයකුගේ නිවෙසක තිබූ රුපියල් තුන්ලක්ෂ විසි දහසක් වටිනා රන් භාණ්ඩ තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් ගෘහ සේවිකාවක අදාළ රන් භාණ්ඩ තොගය සමඟ මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (5) අත්අඩංගුවට ගනු ලැබීය.

මහනුවර නගරයේ රන් භාණ්ඩ උකස් කිරීමේ ආයතන දෙකකට මේ භාණ්ඩ උකස් කැර තිබිය දී සොයා ගැනිණි. වටිනා තැල්ලක් හා රන්මාල වළලු මෙන් ම තවත් රන් භාණ්ඩ තොගයක් මෙලෙස සොරා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇප ඇයට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත් සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ලබන 26 වැනිදා ඇයට යළි උසාවියේ පෙනී සිටීමට නියෝග කරමින් දඬුවම් නියම කිරීම එදිනට කල් තැබීය.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් කස්තුරිරත්න මහතාගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රංජිත් බාලසූරිය මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා