ගුරු සහායක දීමනාව දෙගුණයකින් ඉහළට

ගුරු සහායක දීමනාව දෙගුණයකින් ඉහළට

ගුරු සහායකයින්ට ලබා දෙන දීමනාව දෙගුණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාශය අදහස් කරයි.

දැනට ගුරු සහායකයින් සඳහා ලබා දෙන රුපියල් තුන් දහසක දීමනාව රුපියල් හය දහසක් දක්වා වැඩි කිරීමට අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්

නිමල් බණ්ඩාර මහතා පවසයි. පළාත් මට්ටමින් ගුරු සහායකයින් ස්ථිර කිරීමේ දී යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් එය නිවැරැදි කිරීමට වගබලා ගන්නා බවද ලේකම්වරයා අවධාරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ලංකා ගුරු සංගමයේ සාමාජිකයන් ඊයේ (6) පෙරවරුවේ පැවැත් වූ උද්ඝෝෂණයට සම්බන්ධවූවන්ගේ නියෝජිත පිරිසක් සමඟ සිදුකළ සාකච්ඡාවේදී ලේකම්වරයා ඉහත කරුණු අනාවරණය කෙළේ ය.

ගුරු සහායකයින් ගුරු සේවයේ 3 වැනි පන්තියට බඳවා ගන්නැයි ගුරු සංගමය ඉල්ලා සිටියි. මේ පිළිබඳ කරුණු සොයා බලා ස්ථාවරය ලබන 20 වැනිදා වන විට ගුරු සංගමයට දැනුම් දීමටත් ලේකම්වරයා කැමැත්ත පළ කෙළේ ය.

යම් පළාත් සභාවක ක්‍රියා කළාපය නිසා තවත් පළාත් සභාවක ගුරු සහායකයින්ට අසාධාරණයක් සිදු නොවීමට කටයුතු කරන බවද ලේකම් වරයා එහිදී අවධාරණය කෙළේ ය.

අවුරුදු පහක කාලයකදී ගුරු පුහුණුව හෝ උපාධිය සම්පූර්ණකර ගැනීමේ කොන්දේසි අනුව මේ ගුරු සහායකයන් බඳවා ගෙන ඇත. එම නිසා ගුරු සහායකයින් එම කොන්දේසිය අනිවාර්යයෙන්ම සපුරාලිය යුතු බවද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.

දීමනාව වැඩි කිරීම සඳහා රුපියල් දස ලක්ෂ පනහක් පමණ අවශ්‍ය වෙතියි අමාත්‍යාංශය කියයි.
ස්වේච්ඡා ගුරුවරුන් වශයෙන් පළාත් පාසල් හි සේවය කළ පිරිස ගුරු සහායකයන් වශයෙන් බඳවා ගැනිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා