ඉන්දු-ශශ්‍රී ලංකා මිත්‍රත්ව වර්ධනයට නාවික පුහුණු අභ්‍යාසයක්

ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්ව වර්ධනයට නාවික පුහුණු අභ්‍යාසයක්

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් ඊයේ (06) දවස පුරා කොළඹ වරායට නාවික සැතපුම් 35ක් ඈත මුහුදේදී ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැති වසර දහස් ගණනක මිත්‍රත්වය, සුහදත්වය වර්ධනය කිරීම සඳහා වත්මන් රජයේ විදේශ සබඳතා ඔප්නංවමින් මේ නාවික අභ්‍යාසය පැවැතියේ ශශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල්

තිසර සමරසිංහ මහතාගේ ආරාධනයෙන් ඉන්දීය නාවික හමුදාවේත්, වෙරළ ආරක්ෂක හමුදාවේත් විශාල නාවික යාත්‍රාවන්ගේ සහ ශශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවන්ගේ සහභාගීත්වයෙනි.

මේ ඒකාබද්ධ නාවික අභ්‍යාසය “කැඩෙක්ස් 09” Cadexs යනුවෙන් නම්කර තිබූ අතර මේ අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාවේ “සර්දුල්” නමැති අති විශාල නෞකාවක්, ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේ “වරුණ” නෞකාවත් සහභාගි විය. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් “සයුර” සහ “සමුදුර” යන විශාල නෞකා සහභාගි විය.

මීට පෙර මේ ඒකාබද්ධ නාවික අභ්‍යාසය වසරක් පාසා පැවැතියත් පසුගිය වසර තුනක කාලයක් තුළ එම ඒකාබද්ධ නාවික අභ්‍යාසය නොපැවැත්විණි.
කොළඹ වරායේ සිට ඊයේ (6) උදේ දෙරටේ නාවික යාත්‍රාවන් හතර එකිනෙකට තොරතුරු හුවමාරු කරගනිමින් හා නාවික සම්ප්‍රදායන්ට ගරුකරමින් ඈත දියඹ දක්වා ගමන් කෙළේ එකම නාවික හමුදාවක සහෝදර නෞකා ලෙසිනි.

ප්‍රථම වරට මෙවැනි නාවික අභ්‍යාසයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සඳහා ඉඩදුන්නේ මෙවර වීමද විශේෂත්වයකි. මාධ්‍යවේදීහු රැසක් මේ ගමනට එක්වූහ. ඉන්දීය “සර්දුල්” නැවේ සිට හෙළිකොප්ටර් යානයක් ශ්‍රී ලංකාවේ “සයුර” නැව වෙතටත් “සමුදුර” නැව වෙතටත් පැමිණ එහි නැවියන්ට මිත්‍රත්වය ප්‍රගුණ කරමින් ත්‍යාගයන් ලබාදුන් අතර අපේ නාවිකයින් විසින්ද එම හෙළිකොප්ටරය වෙතට ත්‍යාගයක් පිරිනැමීම සිදුකෙරිණි.

අනතුරුව එම හෙළිකොප්ටර් යානා මඟින් දෙරට අතර සුහදත්වය වර්ධනය කරමින් “අප නුඹලා තනිකරන්නේ නැත” යන අර්ථකථනය සිහිගන්වමින් පැය බාගයක් පමණ ඈත මුහුදේ අහස්තලය සිසාරා ශ්‍රී ලංකා නෞකා වෙතට පැමිණ විවිධ මිත්‍රත්වයේ සංඥාවන් කරමින් ගමන්කෙළේ මහත් අභිමානයෙනි.

මේ ඒකාබද්ධ නාවික අභ්‍යාසය හෙට (08 වැනිදා) දක්වා පැවැත්වේ. මේ අතර මුහුදු නාවික අභ්‍යාස පුහුණුවට අමතරව මීට සමගාමීව ඉන්දීය නාවික කැඩෙට් නිලධාරීන් 144 දෙනකු මේ දිනවල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමලය සහ දියතලාව කඳවුරුවල විශේෂ පුහුණු සංචාරයකට එක්ව සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඍ.කේ.පී. දසනායක මහතා කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා