ලබන මස සිට ‘සහන මල්ලක්’

සීනි-පරිප්පු-කඩල-ටින්මාළු හා වියළි මිරිස් සමඟ

ලබන මස සිට ‘සහන මල්ලක්’

සීනි, පරිප්පු, කඩල, ටින්මාළු සහ වියළි මිරිස් යනාදිය ඇතුළත් භාණ්ඩ මල්ලක් දෙසැම්බර් මාසයේ සිට ඉතා අඩුමිලට ජනතාවට ලබාදෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

දැනට වෙළෙඳ පොළේ පවතින මිල ගණන්වලටත් වඩා අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලැබෙන විශේෂ සහන මල්ලක් ලෙස මෙය නම් කළ හැකියැයි ද වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික කටයුතු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වසර තිහකට පසු බියෙන් සැකෙන් තොරව සැමරිය හැකි නත්තල් සහ අලුත් අවුරුද්දක් එළැඹෙන බැවින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදීය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යාවශ්‍ය භාණ්ඩවල බදු බදාදා සිට අඩු කළ අතර ඒවායේ සහනය ජනතාවට සතියක් තුළ ලැබෙතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කෙළේය.

වෙළෙඳපොළ එක් දිනක් තුළ වෙනස් නොවන බව පෙන්වා දුන් ඇමැතිවරයා ඒ සහනය ලැබීමට නම් අලුත් තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බවත්, ඊට සාමාන්‍යයෙන් සතියක් පමණ ගතවන බවත් කීවේය.

බදු අඩු කළ වහාම අඩු මිලට බඩු ගැනීමේ අවස්ථාව ලංකාව පුරා පිහිටි ලක් සතොස 131 කින් සැළැසුණු බව කී ඇමැතිවරයා මෙය ඡන්දය ඉලක්ක කොට ගත් ඉලක්කම් විජ්ජාවක් නොවන බවත්, නිදහසෙන් පසු ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කළ වත්මන් රජයට ඉලක්කම් විජ්ජා අවශ්‍ය නොවන බවත් කීවේය.

බදු අඩු කිරීම මගින් ලැබෙන සහනය හතරදෙනකුගෙන් යුත් පවුලකට මසකට රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරීම හා සමාන බව කී ඇමැතිවරයා ආණ්ඩුවට වැටුප් වැඩි කළ හැක්කේ රාජ්‍ය සේවකයන්ගේ පමණක් වුවත් මේ සහනය රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 12 ක් පෞද්ගලික අංශ සේවකයන් ලක්‍ෂ 60 ක් ඇතුළු සමස්ත ජනතාවගේ වැටුප් වැඩි කිරීමට සමාන බවත් පැවැසීය.

රට පුරා පිහිටි කෝප් සිටි 363 ක් මගින් ඉදිරියේදී මේ සහනය ලබා ගත හැකි බවත්, ඕනෑම වෙළෙඳසලක් මේ මිලටත් අඩුවෙන් භාණ්ඩ විකිණීමට සූදානම් නම් එයට රජයේ අමනාපයක් නැති බවත් කීවේය.

එසේ සාධාරණව කටයුතු කරන වෙළෙඳුන්ට ජනාධිපති සම්මානයක් වුවත් පිරිනැමීමට බැරිකමක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා