‘හයිලන්ඩ්’ කිරිපිටි මිල පහළ දමයි

‘හයිලන්ඩ්’ කිරිපිටි මිල පහළ දමයි

හයිලන්ඩ් කිරිපිටි මිල ඊයේ (13) රාත්‍රී සිට අඩු කිරීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 230කට තිබූ ග්රෑම් 400 හයිලන්ඩ් කිරි පිටි පැකට්ටුව රුපියල් 210කට ද, රුපියල් 545ට තිබූ කිලෝ ග්‍රෑම් එකක හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුව රුපියල් 490කටද, රුපියල් 275කට තිබූ යොදය රහිත හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුව රුපියල් 250කට ද අඩුකළ බව පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක මහතා පැවැසීය.

මීට අමතරව රුපියල් සියයකට හයිලන්ඩ් කිරිපිටි බජට් පැක් එකක් හඳුන්වා දීමට ද හයිලන්ඩ් සමාගම කටයුතු කළ බව ඇමැතිවරයා සඳහන් කෙළේය.

ලෝක වෙළෙඳ පොළේ කිරි පිටි මිල අඩුවීමට සමගාමීව පාරිභෝගික ජනතාවට විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය ගනු ලැබූ තීරණයට අනුව ආනයනික කිරිපිටි මිල අඩු වූ බවත්, එහිදී දේශීය කිරි ගොවියා රැකගනිමින් පාරිභෝගික ජනතාවට සහන ලබාදීමේ අරමුණින් දේශීය කිරි නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි මිල අඩු කරන බවත් කීය. ඊයේ (13) කොළඹ මිල්කෝ ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති සී. බී. රත්නායක මහතා එසේ පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා